පසුගිය කාලය පුරාම ලංකාවේ මාධ්‍යවල හා දේශපාලන වේදිකාවේත්, රාජ්‍ය ආයතනවල සිට පෙර පාසල දක්වා සියලූ තැන්හිත් සාකච්ඡාවට බඳුන් වූ මාතෘකාවක් තිබිණි. ඒ මහජන දේපළ සහ මුදල් හොරකම් කිරීම් හෙවත් කොල්ලකෑම් සම්බන්ධයෙන් වූ කතිකාවයි. පෙර පාසලක සිසුවෙකු චොකලට් එකක් හොරකම් කර එය අසු වූ පසු පොඩි එකා ගුරුතුමියට පවසා ඇත්තේ ටිචර්ලා එල්ලගෙන ඉන්න ෆොටෝ එකේ ඉන්න මාමත් හොරා කෑව නම් අපි කෑවම වැරැදි දයන්නයි. එපමණකට හොරා කන කතා කුඩා පෙර පාසල දක්වා ව්‍යාප්ත වුයේ ලංකාවේ හොරකම ප‍්‍රධාන මාතෘකාවක් වී ඇති බැවිනි. අප කුඩා කාලයේ ඉගෙන ගත් පුහුල් හොරාගේ කතාව දැන් මෙලෝ රහකට නැති එකක් ගානට යල්පැන ගිය කතාවකි. එය පොඩි එකෙකුට විහිළුවටවත් පැවසිය නොහැකිය. හොරකම් සහ මහජන මුදල් කොල්ලකෑම ගැන සලකා බලන කල ඒවා මොන හොරකම් ද යන්න පොඩි එවුන් පවා දනී. එහෙත් ලංකාවේ තදින්ම නීතිය ක‍්‍රියාත්මක වන හොරකම් ලෙස මෙම පුහුල් හොරකම් වර්ගයේ හොරකම් පත් වී ඇති අතර, ඒවා ඉතා දරුණු වර්ගයේ හොරකම් ලෙස සලකා දඬුවම් දීම ද නොඅඩුව සිදුවේ. ලංකාවේ පාසල් සිසුවියක පොල් හොරකම් කිරීම පසුගිය කාලයේ සියලූ මාධ්‍ය මඟින් රට පුරා ප‍්‍රචාරය වුයේ එවැනි හොරකම්වල ඇති දරුණූකම සහ වටිනාකම ගැන සලකා බැලීමෙනි. එහෙත්, දැන් සිදුවන්නේ කෙසෙල් කැන් කැපීම, පුහුල් හොරකම් වැනි හොරකම් නොව සුදු කරපටි හොරකම්ය. මහත්වරුන්ගේ හෝ විධායකයින්ගේ හොරකම්ය. මැති ඇමති හොරකම්ය.
මෙලෙස සමාජයේ ඉහළ යැයි සම්මත මිනිසුන් විසින් කරන ලද හොරකම් හා සමාජයේ අනෙකුත් පුහුල් හොරා හෝ සරදියෙල් පන්නයේ හොරකම් ලෙස කොටස් දෙකක් තිබුණද පුහුල් හොරා පන්නයේ හොරකම් අල්ලා ගැනීමත් දඬුවම් දීමත් ඉතා පහසු වී ඇත්තේ ඒවාට දේශපාලකයින්ගේ මැදිහත්වීමක් නොවන නිසාත්, හොරකමට හසුවන්නේ සමාජයේ සිවිල් බලයක් හෝ දේශපාලන හයියක් නොමැති මිනිසුන් වීමත් නිසාය. ලංකාවේ ආයතන පද්ධතිය සැකසී ඇති ආකාරය අනුව විශේෂයෙන්ම රාජ්‍ය ආයතන තුළ දී මෙම හොරකම් සිදුවීම විශේෂයෙන් කැපී පෙනෙන්නේ ඒවාට පවතින ආණ්ඩුවල දේශපාලකයින්ගේ මැදිහත්වීම ද සිදු වන නිසාය.
රාජ්‍ය ආයතනවල සිදුවන මහා පරිමාණ වංචා සිදුවන්නේ නියත ලෙසම දේශපාලකයින්ගේ මැදිහත්වීම සහ ම`ගපෙන්වීම ඔස්සේය. එසේ නොවුනහොත් එම හොරකම් හෙළිදරවු වන අතර, ඒවාට දඬුවම් විඳීමට ද සිදුවේ. ලංකාවේ රාජ්‍ය ආයතන පද්ධතිය ගැන සලකා බලන කල ඒවායේ මෙහෙයැවීම සහ තීරණ ගැනීමේ සම්පූර්ණ අයිතිය පවරා ගන්නේ හෝ අත්-පත් කර ගන්නේ පවතින දේශපාලන බලඅධිකාරිය සහ එයට පස මිතුරු ඥති හිත මිත‍්‍රාදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසිනි. එහෙත් මෙහි ඇති විශේෂිත තත්ත්වය වන්නේ රාජ්‍ය ආයතනවල සිදු වන ඕනෑම ගනුදෙනුවක් සම්බන්ධයෙන් බොහෝ විට වගකීමට යටත් වන්නේ අදාළ ආයතනයේ නිලධාරීන්ය. නියෝගය ලැබෙන්නේ වාචිකවය. එහෙත් එය කෙසේ හෝ කළ යුතු මට්ටමට නිලධාරීන් පත් වේ. එවිට සිදු වන්නේ අදාළ හොරකම නියමිත ආකාරයට ඉතා සූක්ෂ්මව කිරීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශය ඔවුන්ගෙන් ලැබීමය. එයට හේතුව නිලධාරීන්ටත් මෙයින් ගැලවිය හැකි ආකාරයට ගනුදෙනුව සිදුවිය යුතු අතර එම ක‍්‍රියාවලියේ සහ නීතියේ ඇති අඩුලූහුඬුකම් සොයා බලා එයට සරිලන ආකාරයට හොරකම හෝ වංචාව කිරීමට ඉඩ සලසා දීමයි. ඒ සඳහා ඔවුන්ට ද යම්කිසි කොටසක් අදාළ ලොකු හොරුන්ගෙන් ලැබෙන අතර මෙය සාමූහික ක‍්‍රියාවලියක් ලෙස සිදුවන නිසා තත්ත්වය තවත් සංකීර්ණ වේ.
ධනේශ්වර පාලන ක‍්‍රමයක් පවතින රටක එම පාලන ක‍්‍රමය විසින් නිර්මාණය කරනු ලබන්නේ පාරිභෝගිකවාදී මානසිකත්වයක් සහිත මිනිසුන් කොටසකි. ඔවුන්ගේ ජීවිතවල පවතින අතිශය තරගකාරීත්වය නිසාත්, වත්කම් අත්පත් කර ගැනීමට ඇති අසීමිත ආශාව නිසාත් ඔවුන් නිරන්තරවම මුදල් පසුපස දුවන්නන් බවට පත් කර ඇත. අනෙක් අතට තමන් කරන සෑම ක‍්‍රියාවකටම ලාභයක්, ප‍්‍රතිලාභයක් බලාපොරොත්තු වේ. ඒ අනුව බල්ලන් මරා හෝ මුදල් සොයන තත්ත්වයට ඔවුන් පත් වෙන අතර, හොරකම සහ කොමිස් ගැසීිම ජීවන කලාවක් බවට පත් වේ. ධනේශ්වර මූල්‍ය පරිපාලනය යටතේ කොමිස් ගැනීිම ගනුදෙනුවල සහ මුල්‍ය ක‍්‍රියාවලියේ කොටසක් බවට පත්වීම විසින් මෙම හොරකම් තව දුරටත් නීත්‍යනුකූල කර වැදගත් කාර්යයක් බවට ද පත් කර තිබීම තවත් කාරණයකි. ඒ අනුව ආයතනයකට භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමේ දී අතරමැදියකු ලෙස මැදිහත්වී නීත්‍යනුකූල නොවන කොමිස් මුදලක් ලැබීම එතරම් ගැටලූවක් නොවේ. ලංකාවේ සිදු වන බොහෝ මූල්‍ය අක‍්‍රමිකතා සහ වංචාවලට නිත්‍යනුකූල භාවයක් ලැබී ඇත්තේ මෙවැනි ධනේශ්වර මූල්‍ය සංකල්පයන් නිසාය. පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතර සිදු වන ගනුදෙනුවකට අදාළ කර ගන්නා මූලධර්මයක් මහජනතාවගේ මුදල් ගසා කෑම වෙනුවෙන් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබ`දව කිසිවෙකුට ගැටලූවක් වන්නේ නැත.
බොහෝ විට රාජ්‍ය අංශයේ පවතින මූල්‍ය වංචාවන්ට ඉතා විශාල ලෙස මඟ හෙළි කර ඇත්තේ, පවතින ටෙන්ඩර් පටිපාටීන්ය.ඒ තුළින් රිංගා ගොස් මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කළ හැකි අතර, ඒවා නීත්‍යනුකූල මට්ටමෙන් ආයතනවල ප‍්‍රතිපත්තිවලට අනුකූලව සිදුවී ඇතැයි තහවුරු වන ආකාරයට අදාළ කටයුතු සිදු වන නිසා මූල්‍ය වංචනිකයන් එලෙසම වංචාකාරයින් ලෙස අල්ලා ගැනීම සරල කාරණයක් වන්නේ නැත. එයට අවශ්‍ය ආකාරයටම ක‍්‍රමය නිර්මාණය කර ඇති නිසාත්, බොහෝ පිරිසක් එකතුවී සාමුහිකත්වයෙන් එකී හොරකම්වලට සම්බන්ධ වන නිසාත් ලංකාවේ හොරකම් හෙළිදරවු කර ගැනීම තවමත් පහසු කටයුත්තක් වී නැත. අනෙක් අතට ලංකාවේ සිටි සහ දැනටත් සිටිනා පාලකයින් මෙම රාජ්‍ය දේපළ වංචා කළවුන් නීතියේ රැහැනට ගෙන නොඑන්නේ ඔවුන් ද එසේ කළවුන් නිසා හෝ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා අය නිසාය. නැතහොත් හොරුන් තම පක්‍ෂයේ හෝ පන්තියේ අය නිසාය. එම නිසා අපි හොරු නොවේයැයි උදම් අනමින් ඉන්නා අය එසේ සිටින්නේ ඔවුන් හොරුන් නොවන නිසා නොව ඒ සඳහා ඇති යාන්ත‍්‍රණයේ දුර්වලතාවය නිසාය. එම නිසා මෙම හොරුන් ඉතා ඉක්මනින් කොටු කර ගත හැකි රාජ්‍ය යාන්ත‍්‍රණයක් සකස් කර ගැනිීමකින් තොරව හොරුන් ඇල්ලීමේ කාර්යය සිදු නොවන අතර, එයට සුදුසු පුද්ගලයින් තෝරා ගැනීිම ජනතාවගේ වගකීමක් බවට පත්ව ඇත. එසේ නොවුණහොත්, හොරුන්ට හැමදාම මඟුල්ය.









