දේශපාලන බෝම්බයකින් මහින්දට බරපතල තුවාල

පසුගිය දාහතරවෙනිදා බෝම්බයක් පුපුරා ගියේය. ඒ දේශපාලන බෝම්බයකි. බරපතල ලෙසම තුවාල ලැබුවේ හිටපු ජනාධිපතිය, 2015 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ති‍්‍රක් මන්ත‍්‍රී අපේක්ෂක පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හෙවත් මහින්ද රාජපක්ෂය. ඒ අතරම මහින්ද රාජපක්ෂට සමීප විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි දේශපාලකයින් මාරාන්තික තුවාල ලැබීය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සාමාජිකයින් බරපතල තුවාල මෙන්ම සුළු තුවාල ලබද්දී ඇතැම් සාමාජිකයින් මෙවැනි දේශපාලන බෝම්බවලට බියේ දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළේය.

2015 ජනවාරි 08වෙනිදා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයෙන් පසුව මෙරට බහුතරයක් ජනතාව සිහිනයක් දුටුවෝය. ඒ රටේ මුදල් කාබාසිනියා කළ මූල්‍ය අපරාධකරුවන්ට ද`ඩුවම් දී සිරගත කරන අයුරුය. ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව දූෂිතයින්ගෙන් තොර ජනතාවගේ සැබෑ නියෝජනයක් ලබන තැනක් බවට පත්වන අයුරුය. දූෂිතයින්ට නාමයෝජනා අහිමිවන අයුරුය. එහෙත් සැබෑ ලෙස සිදුවූයේ හාත්පසින්ම වෙනස් තත්වයකි. රටේ විශාල ආන්දෝලනයක් ඇති කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හිටපු මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදුන්නේය. එපමණක්ද නොව විශාල ලෙස මූල්‍ය චෝදනාවලට ලක්වූවන්ට, ඝාතන නඩුවලට සම්බන්ධ පුද්ගලයින්ට සන්ධාන නාමයෝජනා ලැයිස්තුවේ ඉඩකඩ විවර කර දුන්නේය. ඒ මෛත‍්‍රීපාල සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති බලතල ඇතිවය. ඉන්පසු පසුගිය ජනාධිපතිවරණයේදී විමල් වීරවංශ වැන්නවුන්ට ”අයියෝ සිරිසේන, සිරිසේන හුටන්, කෝ මේ සිරිසේන, විදේශ කුමන්ත‍්‍රණකාරයා, විදේශීය බලවේගවල ගැත්තා”වූ මෛත‍්‍රීපාල සිරිසේන හිටි හැටියේම ඔවුන් වැටී සිටි වලෙන් ගොඩ ගැනීමට ආ එකම ගැලවුම්කාරයා බවට පත්විය. මෛත‍්‍රී-මහින්ද සුසංයෝගය තරම් මේ රටේ ඇතිවුණු වෙනත් දේශපාලන බන්ධනයක් නොමැති තරම්ය.

 මෛත‍්‍රීට මුණිවත රැකීමට නොහැකි වෙයි

දේශපාලන අනාථයින්ට එසේ වේද්දී රට තුළ ගොඩ නැගී තිබුණේ වෙනත් දේශපාලන වටපිටාවකි. රට මුදවා ගැනීමට පැමිණි මෛත‍්‍රීපාල සිරිසේන එක් රැුයකින් ”රට පාවා දෙන්නෙක්, ජනවරමට පයින් ගැසූවෙක්, ද්‍රෝහියෙක්”බවට පත්විය. ජනාධිපතිවරණයේ ඔහුගේ දකුණු අත බවට පත්වී සිටි අමාත්‍ය රාජිත සේනාරත්න, දේශපාලන පිරිසිදුභාවය රැකගෙන සිටි අර්ජුන රණතුංග, මහින්ද රාජපක්ෂ සමග බද්ධ වෛරයකින් සිටි හෙළ උරුමය, එම්.කේ.ඞී.එස්. ගුණවර්ධණ, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර වැන්නන්ට පවා මෛත‍්‍රීපාල සිරිසේන ”ජනවරම පාවාදුන් ද්‍රෝහියා”බවට පත්විය. ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවය කළ සුනිල් ජයසේකර, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු උපදේශක ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න පවා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා හැර යෑමට පටන් ගත්තේය. එහෙත් රනිල් වික‍්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය ඒ පිළිබඳව මුණිවත රැුක්කේය. ඒ මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදීම එක්සත් ජාතික පක්ෂයට වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් වූ නිසා වන්නට පිළිවන.

රට තුළින් නැගී ආ මේ විරෝධය හමුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට තවදුරටත් මුණිවත රැුකීමට නොහැකි විය. ඔහු තීරණය කළේ තමන් රටට පැහැදිලි කිරීමක් කළ යුතු බවය. එම නිසා පසුගිය දාහතරවෙනිදා ජනාධිපතිවරයා විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීය. ”මහින්ද රාජපක්ෂට මගේ කිසිදු සහයක් ලැබෙන්නේ නැහැ. මම ජනාධිපතිවරණයේදී ස්වාධීන පුද්ගලයෙක් විදියට කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂට දිනන්න බැහැ. ඒක තේරුම් ගන්න නක්ෂත‍්‍ර බැලීමට අවශ්‍ය නැහැ. ඉතිහාසය දෙස විමසිල්ලෙන් බැලූවාම ඇති.”ජනාධිපතිවරයා කියා සිටියේය. ”මම මහින්දට විරුද්ධයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කළහොත් අගමැතිවරයා කරන්න  ඕනෑතරම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ ඉන්නකොට පක්ෂයේ වෙන කාටවත් ජනාධිපති ධුරයට එන්න ඉඩ තිබ්බේ නැහැ. දැන් අගමැති ධුරය ලබාගන්නත් මාන බලනවා”මෛත‍්‍රීපාල සිරිසේන දැඩි ස්වරයෙන් කියා සිටියේය. කෙසේ වෙතත් මේ ප‍්‍රකාශයත් සමග මහින්ද රාජපක්ෂ පාර්ශ්වය දැඩි අර්බුදයකට මුහුණ දුන්නේය. ඉතාම අසීරුවෙන් ගොඩ නගාගෙන ආ මැතිවරණ ප‍්‍රචාරක වැඩපිළිවෙළ ලත් තැනම ලොප් විය. විමල් වීරවංශලාගේ, සුසිල් පේ‍්‍රමජයන්තලාගේ මුහුණ අඳුරින් වැසී ගියේය. මාධ්‍ය හමුවල දී පිළිතුරු දී ගත නොහැකිව එය වෙන කෙනෙකු වෙත පවරනු ලැබිණි. ශ‍්‍රීලනිප ලේකම්වරයා විසින් මධ්‍යමකාරක සභා

රැස්වීමක් කැඳවුවද මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වන ප‍්‍රසන්න සෝලංගආරච්චි විසින් අධිකරණ වාරණ නියෝගයක් ලබාගෙන එයද නැවැත්වීමට කටයුතු කළේය. කෙසේ වෙතත් ශ‍්‍රීලනිප පාක්ෂිකයින්ට කුමන හෝ බලාපොරොත්තුවක් තිබුණානම් එයද අහිමි වී ගියේය.

 මහින්දට ඇති අභියෝග

මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලැබුණද ඔහු තරඟ වැදීමට තීරණය කළේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙනි.  ඡන්ද සංඛ්‍යාව අනුව බලන කළ එය මහින්ද රාජපක්ෂට වාසිදායක යැයි පෙනුනද දේශපාලන පෞරුෂය අතින් ගත් කළ එය මහින්දට වඩාත් අවාසිදායකය. ”අඩුම තරමේ මහින්දට උපන් ගමෙන් ඡුන්දේ ඉල්ලන්න පුළුවන් කමක් නැහැ.”, ”මහින්ද කුරුණෑගලට පල්ලම් බැහැලා. ඒකෙන්ම පරාජය පේනවා”. මේ වනවිටත් විපක්ෂයෙන් මහින්ද රාජපක්ෂට ප‍්‍රහාරයන් දියත් වෙමින් තිබේ. එපමණක් නොව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තවත් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. එක් කාරණයක් වන්නේ ඔහුගේ පවුලේ සියලූම දෙනාට පාහේ මූල්‍ය චෝදනා එල්ලවී තිබීමය. යහපාලන ආණ්ඩුව සමයේ කුමන හෝ එකඟතාවයන් මත එම චෝදනාවලට පරීක්ෂණ සිදු නොවූවද මැතිවරණ සටන තිවුර වීමත් සමග වේදිකාවේදී ඒ සම්බන්ධයෙන් චෝදනා දැඩි ලෙස ප‍්‍රහාරයන් ලෙස එල්ලවීමට පටන් ගනු ඇත. ”රාජ්‍ය බලය, රාජ්‍ය දේපොළ, රාජ්‍ය මාධ්‍ය කිසිවක් නොමැති මහින්ද රාජපක්ෂට මේ මැතිවරණයෙන් නම් ගොඩ එන්න බැරිවෙනවා. මොකද ජනාධිපතිකමත් තියාගෙන රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය දේපොළ තියාගෙන අමාත්‍යංශ මුදල් කෝටි ගණන් වියදම් කරගෙන කරපු ඡුන්දේ පැරදුනානම් දැන් කවර කතාද?”දේශපාලන ලෝකයේ කතාබහ වන්නේ ඒ අයුරිනි. මීට පෙර මැතිවරණවලදී ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, දිනමිණ, ඬේලි නිවුස් වැනි රජයේ මාධ්‍ය සියල්ලම පාහේ භාවිතා කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රචාරණයටය. අනෙක් දේශපාලන පක්ෂ වලට ඉඩකඩ ලබානොදුන්නා පමණක් නොව එම දේශපාලන පක්ෂවලට රාජ්‍ය මාධ්‍ය භාවිතා කොට මඩ ප‍්‍රහාර දියත් කෙරිණි. මෙවර ඒ සියල්ල ඔහුට අහිමිවිය. මැතිවරණයට වියදම් කිරීමට අමාත්‍යංශ මුදල් නොමැත. සෙනඟ ඇදීමට ලංගමයේ බස් නැත. විවෘත කිරීම් නැත. රාජපක්ෂලාගේ ඒ වෙනස ජනාතාවට හොඳින්ම දැනෙනු ඇත්තේ මෙවර මැතිවරණයේදීය. මෙවර මැතිවරණයේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල දැන්වීම් පළකරන ආකාරයත් ගියවර මැතිවරණයේදී දැන්වීම් පළ කළ ආකාරයත් දෙස විමසිල්ලෙන් බලන්නෙකුට රාජ්‍ය බලය, රාජ්‍ය දේපළ භාවිතා කළ ආකාරය හොඳින් තේරුම් ගත හැකිය.

 එජාප සමුළුවෙන් හාල් මිල පහතට

එක්සත් ජාතික පක්ෂයටද මෙවර මැතිවරණයෙන් අලූත් වෙනසක් සොයාගත නොහැකිව අසරණව සිටී. එහෙත් අවසාන මොහොත් මෛත‍්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදීමෙන් පසු එජාපයට නව පණක් ලැබුණේය. රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, රතන හිමි ප‍්‍රමුඛ හෙළ උරුමය, එම්කේඞීඑස් ගුණවර්ධණ, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර එක්සත් ජාතික පක්ෂය සමග ගිවිසුමක් අත්සන් කිරීම එසේ වීමට හේතු විය. එම නිසාම දැන් එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ තමන් ආණ්ඩුව ලබාගත් ආකාරයෙනි. එක්සත් ජාතික පක්ෂ විශේෂ සමුළුවේදී ගෑස් මිල අඩු කිරීමට. හාල් මිල අඩු කිරීමට යෝජනා වන්නේ ඒ නිසා වෙන්නට පුළුවන. එහෙත් එක්සත් ජාතික පක්ෂයට එල්ල වූ විශාල මූල්‍ය චෝදනාවක් තිබේ. මහ බැංකු බැඳුම්කර වංචාව නිසා මේ තරම් කාලයක් ”රනිල් නම් හොරකම් කරන්නේ නෑ”කියූ ජනතාව රනිලූත් හොරාකන්න පටන් ගත්තා වගේ”යන්නය. ”මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවුණු වෙලාවේ මම අගමැතිවරයාට කිව්වා මහ බැංකු අධිපතිවරයා ඉවත් කළ යුතුයි කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ”ජනාධිපතිවරයාද දාහතරවෙනිදා කළ තම විශේෂ ප‍්‍රකාශයේදී මේ කරුණ විශේෂයෙන්ම සඳහන් කළේ එහි බරපතලකම නිසාය.

 කොළඹට එජාපය හා ජවිපෙ

සාමාන්‍යයෙන් මැතිවරණ උණුසුම වැඩියෙන්ම දැනෙන්නේ රටේ ප‍්‍රධාන නගරයටය. එනම් කොළඹටය. මේ වනවිට නාමයෝජනා භාරදීමෙන් පසු ප‍්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සියලූම දේශපාලන පක්ෂ කටයුතු කර තිබේ. මේ වන විට රටේ ප‍්‍රධාන බලවේග තුනක් වටා මැතිවරණය කේන්ද්‍රගත වෙමින් තිබේ. එනම් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය වටාය. එහෙත් කොළඹදී බැලූ බැල්මට එය එක්සත් ජාතික පක්ෂය වටා සහ ජනතා විමුක්ති පෙරමුණ ලෙසය. එයට හේතුව වී තිබෙන්නේ එම පක්ෂ දෙකේ නායකයින් වන රනිල් වික‍්‍රමසිංහ සහ අනුර දිසානායක කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කිරීමය. කොළඹ දිස්ති‍්‍රක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව කිසිදු නැවුම්බවක් දක්නට නොලැබීමද මෙයට හේතුවී තිබේ. කෙසේ වෙතත් කොළඹ ප‍්‍රධාන නගරය ආශ‍්‍රිතව සිදුවන ප‍්‍රචාරක කටයුතුවලින්, සමාජ ජාල වෙඞ් අඩවිවලින් සිදුවන ප‍්‍රචාරක කටයුතුවලින් මේ වනවිට සටනක් ආරම්භ වී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතරය. සන්ධානයේ ප‍්‍රචාරක වැඩපිළිවෙළක් ඇත්තේම නැති තරම්ය.

 ආණ්ඩු කරවන ආණ්ඩුව ජවිපෙන්

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් පසුගිය බදාදා පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී රැුස්වූයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් සහ වර්තමානයේ මතුවී තිබෙන දේශපාලන තත්වයන් පිළිබඳව සාකච්ඡුා කිරීමටය. එහිදී මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයද ජවිපෙ නායකයින්ගේ අවධානයට යොමු විය. ”රටෙන් මතුවෙලා තිබුණ විරෝධය නිසා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා කට ඇරියට දැන් හොඳටම ප‍්‍රමාදයි. රටේ ජනතාවගේ අප‍්‍රසාදයට පත්වෙලා හිටපු ජනාධිපතිවරයා දැන් පක්ෂ සාමාජිකයින්ගේත් අප‍්‍රසාදයට ලක්වෙලා.”ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ ඇතැම් කතා උපුටා දක්වමින් කතාව ආරම්භ කළේය. ”මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා කිව්වේ මහින්දට නාමයෝජනා දෙන්න තමන් එකඟ වුනේ නැහැ කියලා. ඒත් මීට කලින් සුසිල් පේ‍්‍රමජයන්ත මාධ්‍යවලට ලිපියක් දාලා තිබුණා මහින්ද රාජපක්ෂට නාමයෝජනා දෙන්න ජනාධිපතිවරයා කැමැත්ත පළකළා කියලා. ඒ ගැන මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිසිවක් රටට කිව්වේ නැහැ. විශේෂ ප‍්‍රකාශය කරන වෙලාවේදීවත් සුසිල්ගේ කතාව ගැන මතක් කළේ නැහැ. ඒ නිසා මේක අපභ‍්‍රංශයක් තමයි”විජිත හේරත් කීවේය.

”ඒ විතරක් නෙවෙයි. මෛත‍්‍රී මහින්ද තුන් සැරයක් හමුවුණා කියලා කොහොමත් රට දන්නවා. නමුත් ජනාධිපතිවරයා විශේෂ ප‍්‍රකාශයේදී කිව්වේ මහින්ද හමුවුණ දෙවතාවක් ගැන විතරයි. එක් අවස්ථාවක් කතානායක නිල නිවසේදී හමුවුණා කිව්වා. අනෙක් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී හමුවුණ බවත් කිව්වා. නමුත් තුන්වෙනි අවස්ථාව ගැන කිව්වේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා ජනතාවට හංගන දෙයක් තිබෙනවා.”පක්ෂ නායක අනුර දිසානායක කියා සිටියේය.

”කොහොම වුණත් දැන් මෛත‍්‍රී කියලා තියෙන විදියට මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ. මහින්ද ජනාධිපතිකමේ ඉන්න වෙලාවේ මෛත‍්‍රීට දුන්නේ නැති අගමැති කම මෛත‍්‍රී ජනාධිපතිකමේ ඉන්න වෙලාවේ මහින්දට දෙනවද? ඒ නිසා මහින්දට මන්ත‍්‍රීකම විතරයි ඉතිරිවෙන්නේ”බිමල් රත්නායක කියා සිටියේය. ”මහින්දට මන්ත‍්‍රීකමවත් ඉතිරිවෙයිද කියලා කවුද දන්නේ. පත්වෙන ආණ්ඩුව මහින්දට තියෙන මූල්‍ය චෝදනා ගැන පරීක්ෂණ කරන්න  ඕනෑ. රාඩා ආයතනයේ මූල්‍ය ගනුදෙනු ගැන පරීක්ෂණ කළොත් මහින්දට අනිවාර්යෙන්ම ද`ඩුවම් ලැබෙනවා. එහෙම වුනොත් මහින්දට මන්ත‍්‍රීකමත් නැහැ”ලාල්කාන්ත කියා සිටියේය.

”එජාප ප‍්‍රමුඛ සන්ධානෙටවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයටවත් මේ මැතිවරණයෙන් බහුතරය ගන්න බැරිවෙනවා. ඒ නිසා තීරණාත්මක බලය වෙන්නේ පාර්ලිමේන්තුවේ අපේ නියෝජනයයි. රටේ ආණ්ඩු කරවන ආණ්ඩුව හදන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපි මැදිහත් වෙලා. ඒක ජනතාවට අලූත් අත්දැකීමක් විදියට දැනෙයි.”ටිල්වින් සිල්වා අලූත් යෝජනාවක් කළේය. ”ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටම වැටිලා. බලය නැතිව මාස හයයි ගියේ පක්ෂය දෙකට තුනට කැඩෙනවා. නඩු යනවා. මධ්‍යමකාරක සභාව කැඳවන්න බැහැ. ඒ තරමට වැටිලා. ඒ නිසා ආණ්ඩුවක් හදන්න නම් කොහොමත් බැහැ.”අනුර දිසානායක කීවේය.

”මෛත‍්‍රීපාල මහත්තයගේ කතාවෙන් මහින්ද වටේ හිටපු දේශපාලන අනාථයින් දෙවැනි සැරේටත් අනාථ වුණා. දැන් ඉතිං කරකියා ගන්න දෙයක් නැතිව ඉන්නවා. අපේ පැත්තට වාසියක් තියෙනවා. මොකද අපි ජනාධිපතිවරණයේදී කියපු ගොඩක් දේවල් දැන් ඇත්ත වෙලා තියෙනවා.”හඳුන්නෙත්ති කියා සිටියේය.

 පාර්ලිමේන්තුවේ මල් තුනක්

මේ අතර පසුගිය දාහතරවෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රථම ප‍්‍රචාරක රැුලිය ජවිපෙ නායක, කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක අනුර දිසානායක සහ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී  ලක්ෂමන් නිපුණආරච්චි, නීතිඥ සුනිල් වටගල යන අයගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි. ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැතිවරණ සටන් පාඨය ”රට වෙනුවෙන් නව ගමනක් යන්නයි”ප‍්‍රචාරක තේමාව වන්නේ ”දේශයේ හෘදසක්ෂිය”යන්නයි. කෙසේ වෙතත් මෙම ජන රැුලියට විශාල ජන සහභාගිත්වයක් තිබුණු අතර ජවිපෙ වටා අලූතින් රොක් වන ජනතාව මෙම ජනරැුලි සඳහා ඇදී එන බව පෙනෙන්නට තිබේ. මෙම වේදිකාවේ විශේෂත්වයක් විය. ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් දමිල ප‍්‍රවීන කලාකරුවෙකු වූ ඇන්තනී ජීවා සහ කැළණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යන අංශයේ අංශාධිපති චන්දන අබේරත්න ජවිපෙට සුභාශිංසන රැුගෙන පැමිණීමයි. චන්දන අබේරත්න මෙහිදී කියා සිටියේ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් වැඩි පිරිසක් සිටිය යුතු බවයි.

මෙම රැුස්වීමේදී ලාල්කාන්ත අපූරු කතාවක් කීවේය. ”මම වේදිකාවේ ඉඳගෙන ඉන්නකොට මගේ හිතවතෙක් මා දිහා බලාගෙන පාරේ ගියා. මම අත වනලා සුහදත්වය පළ කෙරුවා. ඒ වෙලාවේ මගේ හිතවතා අපූරු දෙයක් කළා. මට අතවනලා ඊට පස්සේ අත පපුවෙන් තියාගත්තා. එකපාරටම මට ඒක හිතාගන්න බැරිවුණා. ඒත් මට ටික වෙලාවක් යනකොට තමයි එහෙම කළේ මොකද කියලා මතක් වුණේ. මොකද දන්නවද මේ සැරේ අපේ තේමාව වෙලා තියෙන්නේ දේශයේ හෘද සාක්ෂිය කියන එකනේ. ඒ නිසා මමත් මීට පස්සේ අතවනන්නේ නැහැ. පපුවට අත තියලා අචාර කරනවා.”ලාල්කාන්ත අලූත් ආචාර කරන ක‍්‍රමයක් සමාජ ගත කළේය.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ පිපුන මල් තුනක් ගැනද ලාල්කාන්ත මතක් කළේය. ”මේ පාර්ලිමේන්තුවට යවන්න  ඕන ජවිපෙ නියෝජිතයෝ. ඇයි කියලා ජනතාව දන්නවා මේ වෙනකොට. මේ පාර්ලිමේන්තුව කුණුවෙලා ගඳගහන තැනක් බවට පත්කරලා තියෙන්නේ මේ රටේ ප‍්‍රධාන යැයි කියා ගන්නා දේශපාලන පක්ෂ දෙක. එහෙම තැනක් සුව`ද හමන තැනක් බවට පත්කරන්න සටන් කළේ අපේ පක්ෂයේ අනුර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති කියන මන්ත‍්‍රීවරු තුන්දෙනා. පාර්ලිමේන්තුවේ සුවඳ හමන මල් තුනක් වුනේ ඒ තුන්දෙනා. අපේ රටේ ජනතාවට කවදාවත් හිතුනේ නැහැ පාර්ලිමේන්තුවේ ජවිපෙ තුන්දෙනෙක් ඉන්නවා කියලා. හිතුනෙම විපක්ෂ නායක අනුර දිසානයක කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුවට යවන්න  ඕන ජවිපෙ නියෝජිතයෝ කියලා”ලාල්කාන්ත කීවේය.

 අපේක්ෂකයින් අතර උපාධිධාරීන් විශාල ප‍්‍රමාණයක්

මේ අතර මේ දිනවල වැඩිපුර කතා බහ කරන කාරණයක් වන්නේ ජාතික ලැයිස්තු පිළිබඳවය. ජාතික ලැයිස්තුවක් පත් කිරීමේ සැබෑ වුවමනාව තේරුම්ගෙන තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව විද්වත්හු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්කරමින් සිටිති. ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපතිවරයෙක් වන මයාදුන්නේ ඇතුළුව මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, කලාකරුවන්, සමාජ කි‍්‍රයාකාරීන්, නීතිවේදීන්, දේශීය ව්‍යාපාරිකයින් ඇතුළත් කර තිබේ. සමාජ ජාල කි‍්‍රයාකාරිකයින් ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි. ජවිපෙ ජාතික ලැයිස්තුවේ පරාජයට පත් මන්ත‍්‍රීවරුන් නොසිටීමද විශේෂත්වයකි. මහාචාර්ය සරත් විජේසූරිය, ප‍්‍රවීණ ග‍්‍රන්ථ පරිවර්තක ගාමිණී වියන්ගොඩ, චිත‍්‍රපට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ වැනි පුරවැසියන් මේ වනවිට ජවිපෙ ජාතික ලැයිස්තුව පිළිබඳව ප‍්‍රශංසා මුඛයෙන් කතාබහ කරමින් සිටිති. මේ වන විට රූපවාහිනී සංවාදවල පවා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සාකච්ඡුා මතුව තිබීම විශේෂත්වයකි.

 

මේ අතර ජවිපෙ මැතිවරණ දිස්ති‍්‍රක් 22 සඳහාම නාමයෝජනා භාරදී තිබෙන අතර කණ්ඩායම් නායකයන්ගෙන් 17ක්ම උපාධිධාරීන් වීම විශේෂත්වයකි. ඊට අමතරව ජවිපෙ අපේක්ෂකයින් අතර උපාධිධාරීන් විශාල ප‍්‍රමාණයක් නියෝජනය වේ. නීතිවේදීන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, ව්‍යාපරිකයින්, විශ‍්‍රාමලත් හමුදා නිලධාරීන්, චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් ඇතුළු කලාකරුවන්ද ඇතුළත්ය.

Facebook
Twitter
LinkedIn