ප‍්‍රවීණ කලාකරු චන්ද්‍රසෝම බිංදුහේවා
මෙවර අප සංදීපනී තුළින් හමුවන්නේ වේදිකාවේ, සිනමාවේ, වගේම ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේත් ප‍්‍රවීණයෙක් සමග ඔහු චන්ද්‍රසෝව බිංදුහේවා සම්ප‍්‍රදායික සම්මතයට යටනොවී වෙනස් ලෙස ලෝකය දකිමින්, එමෙන්ම ඒ දැක්ම ඔස්සේ සිය භාවිතය පෙළ ගැස්වූ මේ අපූරු මිනිසා සමග කළ කතාබහේ සටහනයි වේ.
අප අසා තිබෙන ආකාරයට ඔබේ කලා ජීවිතය ඉතා දීර්ඝ එකක්. එය ආරම්භ වෙන්නෙ කොතැනින්ද ?
එතකොට මගෙ වයස අවරුදු දහයක් හෝ දොළහක් වෙන්න ඇති. මම මගේ ජීවිතේ ප‍්‍රථම වතාවට කෝලම් නාට්‍යයක් බැලූවෙ එදා. අපේ තාත්තගෙ උකුලෙ ඉ`දන් තමයි ඒ කෝලම් නාට්‍යය බැලූවෙ. ඒ නාට්‍යයේ නොන්චි අක්කා කියන වයසක චරිතයට නැටුවෙ පිරිමි කෙනෙක්. ඒක හරි අපූරු පුදුම හිතෙන චරිතයක්. ඒ චරිතය දැකලා මම කල්පනා කළා කොහොමද පිරිමි කෙනෙක් මේ විදිහට ගැහැණු චරිතයක් කරන්නෙ කියල. ඊට පස්සෙ මම තාත්තට කිව්වා මමත් මේවා ඉගෙන ගන්න ආසයි කියලා. ඊට පස්සෙ තාත්තා මාව එතැනට යොමු කළා. ටුක්කාවල ගුරුන්නාන්සේ තමයි අපිට කෝලම් නාට්‍ය පුරුදු පුහුණු කළේ. මම එතැනට ගියාම ඒ කණ්ඩායමට ලොකු එළියක් වැටුණා. මොකද අපේ තාත්තා කොන්තරාත් මුදලාලි කෙනෙක් නිසා.
ටුක්කාවල කෝලම් කණ්ඩායමත් සමග ඇරඹුණු කලා ජීවිතයේ සුවිශේෂි තැන් එහෙම තියෙනවද ?
බණ්ඩාරණායක මහත්තයාගෙ ආණ්ඩුව පත් වුණාට පස්සෙ මුලින්ම සංස්කෘතික අමාත්‍යාංශයක් පිහිටෙවුවා. ඒ අමාත්‍යාංශයෙන් නැටුම් කලාව රුහුණු, සබරගමු, උඩරට, යනාදි වශයෙන් වර්ග කළා. ඒකෙදි ලොකූ සම්මේලනයක් එක්ක තරගයක් තිබුණා මාතර රාහුල විද්‍යාලයේ. අපි ඒ තරගයට හේවා කෝලම් කියන සමූහ නැටුම ඉදිරිපත් කළා. ඒ නර්තනයට අපිට පළවෙනි ස්ථානය හම්බ වුණා. ඒක තමයි මට රාජ්‍ය උත්සවයකින් මුලින්ම ලැබුණු සම්මානය.
ඔබ ගුවන් විදුලියේ ළමා වැඩසටහන් වල ගීත ගායනා කළ බව අප අසා තිබෙනවා..
ඔව්. මම කළු අයියගෙ ළමා පිටියට සම්බන්ධ වුණා. පසුව මම ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ ගොඩක් සින්දු කිව්වා. ඒ දවස් වල ළමා වැඩසටහන ඇතුළෙ සිංදු තුනයි තියෙන්නෙ. ඒකෙන් එකක් මට ලැබෙනවාමයි. ඊට පසුව සී ද එස් කුල තිලක මහත්මයාගෙන් මම ජන සංගීතය ඉගෙන ගත්තා. එතුමා ගුවන් විදුලියේ සංගීත පර්යේෂණ නිලධාරී වුණාට පසුව ඔහු මාව සම්බන්ධ කර ගත්තා ජන කවි සහ ජන ගායනා එකතු කරන්න යන්න. ඒක කෙනෙකුට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. ලංකාවෙ සෑම තැනකම අපි ගියා. වයස්ගත අය හම්බ වෙලා ජන ගී පටිගත කළා. ඒ තැටි දැනට ගුවන් විදුලි පර්යේෂණ අංශයේ තියෙනවා.
ඔබ වෙස් මුහුණු කලාවට කැමැත්තක් දැක්වුවෙ නැත්ද ?
මොකද නැත්තෙ.. අම්බලන්ගොඩ වෙස් මුහුණු වලට ප‍්‍රසිද්ධ ආරියපාල විජේසූරිය ගුරුන්නාසේගෙ පුතා හිටියෙ මගෙ පංතියෙ. ඔහුගෙ නම බද්‍රානන්ද විජේසූරිය. මම එයාව හම්බවෙන්න යනවා ඒගොල්ලන්ගෙ ගෙදර. යන්නෙ වෙන දේකට නෙමෙයි වෙස් මූණු කපන්න. එහෙට එනවා විදේශ සංචාරකයො. දවසක් වෙස් මුහුණක් නිර්මාණය කරමින් ඉන්නකොට විදෙස් සංචාරකයෙක් ඇවිල්ලා මම කපමින් හිටපු වෙස් මුහුණ දැකලා කීයද ඇහුවා. මම කිව්වා ගුරුන්නාන්සෙගෙන් අහන්න කියලා. ගුරුන්නාන්සෙ කටට ආපු ගාණක් කිව්වා. ඊට පස්සෙ ඔහු ඒ මුදල ගෙවලා මම කපමින් හිටපු වෙස් මුහුණ මිලදී ගත්තා. විශේෂත්වය තමයි ඒක මම නිර්මාණය කරපු මුල්ම වෙස්මුහුණ. එදා ඉ`දන් මම දිගටම හවසට ගිහිල්ලා වෙස් මුහුණු කලාවේ නිරත වුණා. ඔය කාලයේ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවෙ ගුරු ශිල්පී පංති පවත්වනවා කියලා ආරංචියක් ලැබුණා. ඒක අවුරුද්දක පාඨමාලාවක්. මම ඒ පාඨමාලාවේ උපදේශකයෙක් විදිහට වැඩ කළා. අවුරුද්දකට දහදෙනෙක් තෝරාගෙන අවුරුදු හතරක් පමණ කරගෙන ගියා.
ඊට පස්සෙ මොකද කළේ ?
ඊට පස්කොඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවයට බැ`දුණා. එතන තිබුණා මෝස්තර මධ්‍යස්ථානයක්. මම මෝස්තර මධ්‍යස්ථානයේ වෙස් මුහුණු උපදේශකයෙක් විදිහට රැුකියාව කළා. ඔය කටයුතු කරගෙන ඉන්න අතරෙ මට එක්සත් ජාතීන්ගේ සංවර්ධන පදනමෙන් ශිෂ්‍යත්වයක් හම්බ වුණා ඉන්දුනීසියාවට යන්න. ගිහිල්ලා වෙස් මුහුණු හා ලී කැටයම් සම්බන්ධයෙන් වැඩිදුරටත් ඉගෙන ගන්න. මං ඒ ශිෂ්‍යත්මයට ගියා. ආපහු ලංකාවට ඇවිත් ටික කාලයක් ඉන්නකොට කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට එංගලන්ත ජාතිකයෙක් ආවා. ඔහු ආවෙ දෙපාර්තමේන්තුවත් එක්ක ඒකාබද්ධ වෙලා වයලින් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපෘතියක් පටන් ගන්න. මගෙන් ඇහුවා වයලින් එකකට අවශ්‍ය කොටස් හදල දෙන්න පුළුවන්ද කියලා. මම පුළුවන් කිව්වා. ඊට පස්සෙ ඒ සුද්දා කිව්වා මාව එක්කගෙන යනවා කියලා. ඔහු ගිහිල්ලා මාසයක් විතර යනකොට ලියුමක් ආවා යුරෝපයේ රටවල් කිහිපයකට වීසා ගන්න කියලා. ඒ අනුව මම ගියා එංගලන්තයට. ගිහින් වයලීන් තත්භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් සමග වැඩ කළා සහ වැඩ ඉගෙන ගත්තා. නැවත ලංකාවට ආවෙ ඒ ආයතනය සමග සම්බන්ධ වෙලා මෙහෙ වැඩපළක් පටන් ගන්න. මගේ ඩිසයින් වලට තමයි ගොඩනැගිල්ල පවා හැදුනෙ. ආයුධ යන්ත‍්‍ර ඇතුළු සියල්ලම ජර්මනියෙන් එව්වා. ඊට පස්සෙ මම ළමයි දහතුන් දෙනෙක් තෝර ගත්තා ඒ පාඨමාලාවට. එතනදි විශේෂයෙන්ම කියන්න ඕනෙ, අපේ ගමේ මම දන්න දුප්පත් පවුල් වල ළමයි දෙන්නෙකුට රස්සාවල් දෙන්න මට පුළුවන් වුණා. ඒක ගෙදරකට හයියක්නෙ. ඔහොම ටික කාලයක් යනකොට අපේ දෙපාර්තමේන්තුව වැහුවා. ඊට පස්සෙ මම විශ‍්‍රාම ගියා.
ටෙලි නාට්‍යට, සිනමාවට සහ වේදිකාවට ලංවෙන්නෙ ඊට පසුවද ?
නැහැ. ඒ වෙනකොටත් මම ටෙලි නාට්‍ය වල , වේදිකා නාට්‍ය වල වැඩ කරමින් හිටියා. ඊට පස්සෙ මම පූර්ණ කාලීනවම කලාවට බැස්සා. හැබැයි වෙස් මුහුණු කලාව, සංගීත භාණ්ඩ කලාව සහ ලී කැටයම් කලාව මගේ අතින් පොඞ්ඩක් මගහැරුණා. ඊට පස්සෙ මුළු කාලයම වේදිකාවටත්, චිත‍්‍රපටවලටත්, ටෙලිනාට්‍යවලටත් තමයි වෙන් වුනේ. ඒ වගේම සමාජවාදී කලා සංගමයේ වැඩවලටත් උපරිම දායකත්වය ලබාදුන්නා.
කලාකරුවෙක් වගේම චන්ද්‍රසෝම බිංදුහේවා කියන චරිතය වාමාංශික දේශපාලනයේදීත් අපට හුරු පුරුදු නමක්. වමේ දේශපාලනයටනැඹුරු උනේ කොහොමද ?
මම පාසල් ගියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට. අට වසරෙදි හෝ නවය වසරෙදි අපි කළා ආණ්ඩුක‍්‍රමය කියලා විෂයක්. අන්න එතැනදි තමයි දේශපාලනයේ මුල්ම බීජය වැටුණෙ. ඒ වගේම එතැනින් තමයි සමාජවාදය කියන විෂය ගැන රුසියානු විප්ලවය ගැන, කියුබානු විප්ලවය ගැන අපි දැනුම් තේරුම් ගත්තෙ. අපි පොඩි කාලෙ අපිට අඩුපාඩුකම් තිබුණෙ නැහැ. අපෙ තාත්තා බිල්ඩින් කන්ට‍්‍රෑක්ටර් කෙනෙක්. ඔහුට යහමින් මිල මුදල් තිබුණා. නමුත් මගේ අවට ලෝකයේ තිබුණු අගහි`ගකම් මම දැක්කා. අපිට තුන් වේලක් නෙමෙයි හතර වේලක් වුණත් කන්න පුළුවන් කම තිබුණා. නමුත් එක වේලක් වත් කන්න බැරි අය අපේ ගමේ හිටියා. ඒක හින්දම මේක වෙන්න බැහැ නේද කියන ප‍්‍රශ්නාර්ථය පොඩි කාලෙ ඉඳන්ම මගේ හිතේ තිබුණා. උසස් පෙළ පංති වලදි මේක තවදුරටත් වැඩි වුණා. මොකද පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගිහිල්ලා ආපු අය හවස් කාලයේ රැස්වෙන තැනක් තිබුණා. මමත් එතැනට යනවා. ඒගොල්ලන් කතා කරන දේවල් මට තේරෙන්නෙ නෑ. නමුත් මම අහගෙන ඉන්නවා. ඒගොල්ලන් කතා කරන්නෙ මාක්ස් ලෙනින් ගැන, රුසියානු විප්ලවය ගැන. බොල්ෂෙවික් පක්ෂය ගැන. ඒ දේවල් අහගෙන ඉඳලා ඒ පොත් පත් හොයාගෙන කියවනවා. කියවලා දැනුම වැඩි කර ගත්තා.
වමේ දේශපාලනයට ක‍්‍රියාකාරීව සම්බන්ධ වුණේ කොහොමද
ඒ කාලෙ එල් සී ද සිල්වා සම සමාජ පක්ෂය අරගෙන ආවා අම්බලන්ගොඩට. ඔහු ඡුන්දය ඉල්ලූවෙ අම්බලන්ගොඩින්. අපි ඔහුට වැඩ කළා. ඔහු ඡුන්දයෙන් දිනුවා. සමසමාජ පක්ෂෙ තරුණ පෙරමුණට දේශපාලන පංති පවත්වනවා. මම ඒ පංති වලටත් සහභාගී වුණා. ඔය කාලයේම රෝහණ විජේවීර සහෝදරයා අපේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ උසස් පෙළ පංතියේ ඉගෙන ගත්තා. ඔහු ඒ කාලෙ නැවතිලා හිටියෙ අපෙ නැන්දා කෙනකුගෙ ගෙදර. මම දැකල තියෙනවා විජේවීර සහෝදරයා ගහක් යට මේසයක් තියාගෙන ලොකු පොත් පෙරලගෙන බලනවා. නැන්දා මට කියනවා සද්ද කරන්න එපා ඒ ළමයා ඉගෙන ගන්න දක්ෂ ළමයෙක් කියලා. එතැනදි තමයි මට රෝහණ විජේවීර සහෝදරයා මුල් වරට මුණගැහෙන්නෙ. ඔහොම කාලයක් අපි සමසමාජ පක්ෂයේ දේශපාලනය කරගෙන හිටියා. ඒ අතරතුරේ තමයි විජේවීර සහෝදරයා විසින් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරන්නෙ. ඊට පසුව මම ඇතුළු බොහෝ තරණයන් සමසමාජ පක්ෂය අත හැරලා ගිහින් ජනතා විමුක්ති පෙරමුණ වැළ`දගත්තා.
ජවිපෙ තුළ කලා කටයුතු වල නිරත වුණේ නැත්ද ?
පක්ෂයේ හිටපු ප‍්‍රධාන කෙනෙක් තමයි සුබසීල කොඩිකාර කියන්නෙ. ඔහු හැත්තෑ එකේ කළ අරගලයේදී මතුගම ප‍්‍රදේශයේදී මැරුණා. නියුමෝනියාව හැදිලා කැළයකදි තමයි ඔහු ජීවිතක්ෂයට පත් වෙලා තිබෙන්නෙ. භූමදාන කටයුතු සිද්ධ කරල තියෙන්නෙ පොලිසියෙන්. ජීවත්ව සිටින කාලයේ ඔහුව මම බොහොම ළ`ගින් ඇසුරු කළා. ඔහු දන්නවා මට සංගීතය ගැන දැනුමක් තියෙනව කියලා. ඒ වෙනකොටත් මම නාට්‍ය දෙක තුනකට සංගීතය නිර්මාණය කරලා තිබුණා. ඔහු මගෙන් දවසක් ඇහුවා චන්ද්‍රසෝම මං ලියපු සිංදුවක් තියෙනවා, ඒකට තනුවක් දාලා පටිගත කරමුද කියලා. මම තනුවක් දාලා පටිගත කළා. සුබසීල කොඩිකාර සහෝදරයා රචනා කරපු මා විසින් තනුවක් යොදා සංගීතවත් කරපු ඒ ගීතය ඒ දවස් වල පක්ෂයේ රැළි වලදි ප‍්‍රචාරය කරනවා. ඒ ගීතය තමයි ”විප්ලවයේ රණ ගී අධිරදයේ අවම`ගුල් නිදහසේ ජය මගුල් ගීත ගයනා යුගයයි මේ”.. අපි හැත්තෑව අවුරුද්දෙදි රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍යයක් කළා. ”රට බාරයි නුඹට පුතේ”. එහිදී මට රාජ්‍ය නාට්‍ය උළෙලේ හො`දම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය හම්බ වුණා. අපේ කලාව තුළත් දේශපාලන මතවාදය අරගෙන යන්න අපි සමත් වුණා.
අපේ‍්‍රල් කැරැල්ලේ මතකය කොයි වගේද ?
අපේ‍්‍රල් පස් වෙනිදා පහර දීමේ ආරංචිය ලැබෙන කොට මම හිටියෙ මගේ දෙවෙනි අක්කගෙ ම`ගුල් ගෙදර. පහර දීමේ ආරංචිය ලැබුණට පස්සෙ මම තදබල ප‍්‍රශ්නයකට මුහුණ දුන්නා. නමුත් මට අක්කාගේ මගුල් ගෙදර කටයුත්ත තෝරගන්න සිදු වුණා. බැරි වෙලාවත් පක්ෂයේ තීරණයට අනුව ඒ කටයුතු වලට යොමු වුණා නම් අක්කගේ මගුල් ගෙදර කඩා කප්පල් වෙනවා. හදිසියේ ඇති වුණ තත්වයක් නිසා මම හිතන්නෙ මං විතරක් නෙමෙයි එවැනි සිද්ධි වලට බොහෝ දෙනෙක් මුහුණ දෙන්න ඇති. නමුත් ජවිපෙ තරුණ ක‍්‍රියාකාරිකයෙක් හැටියට මාව හංවඩු ගැහිලා තිබුණු හින්දා ගෙදර අය මාව විවිධ තැන්වල තියන්න ගත්තා ආරක්ෂක අංශවලට හොයා ගන්න බැරි වෙන්න. ඔය අතරෙ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පත් කරලා අරගලය ගැන නඩු ඇහුවනෙ. ඒ හැම නඩු වාරයකදිම මම යනවා අපිත් එක්ක හිටපු සහෝදරවරු බලන්න. ඒගොල්ලො එනවා බස් එකේ අරගෙන මම තනුව දාපු සුබසිංහ සහෝදරයා ලියපු සිංදුව කියාගෙන. මට ඉතින් ඇස් වලට ක`දුළු එනවා. මොකද මමත් එතැන ඉන්න ඕන මිනිහෙක්නෙ.
හැත්තෑ එකෙන් දෙදහස් පහළොව වර්ෂයට එමු. පසුගිය ජනාධිපතිවරණයෙදි ඔබ කලාකරුවෙක් විදිහට ක‍්‍රියාකාරීව මැදිහත් වුණා. ඒ නිසා වර්තමානයේ ඇති වෙලා තිබෙන තත්වය පිළිබ`දව ඔබේ අදහස මොකක්ද ?
විශේෂයෙන්ම කියන්න ඕන පසුගිය ජනාධිපතිවරණය වෙලාවෙ මමත් ක‍්‍රියාකාරිකයෙක් හැටියට වැඩ කළා පුරවැසි බලය සංවිධානයත් සමග. නමුත් මම කිසිම වෙලාවක කිව්වෙ නැහැ මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයාට ඡුන්දය දෙන්න කියලා. පක්ෂයෙනුත් කිවුවනෙ මෛත‍්‍රීගෙ කඬේ බඩු ෂුවර් නැහැ කියල. ඒක හරියට හරිනෙ අද. මමත් ඒ මතයම දැරුවා. මොකද මේගොල්ලො එක මල්ලෙ ලූණු කාපු කට්ටියනෙ. ඡුන්දය වෙලාවෙදි අඩි හයක් පොළව යටට යනවා කිව්වට ඒගොල්ලො එකට කාලා බීලා පුරුදු මිනිස්සුනෙ. නමුත් අපිට ඕන වෙලා තිබුණා එක හොරෙක් සමග හොරු රැුලක් පන්නන්න. දැන් කියනවා අවුරුදු හතලිහක් දේශපාලනේ හිටියලූ. හතලිහක් නෙමෙයි සීයක් හිටියත් වැඩක් නැහැ දේශපාලනය කියන දේ හරියට ඉගෙන ගන්නෙ නැතුව. අනික මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.
ඔබ මෙවර ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ ඇයි ?
ඡන්දය ඉල්ලන්න මගේ අදහසක් තිබුණෙ නැහැ. මොකද වරප‍්‍රසාදයක් ගන්නවත් මන්ත‍්‍රීවරයෙක් වෙලා සැප වි`දින්නවත් බලාපොරොත්තුවක් නැහැනෙ අපිට. නමුත් මේ පෑගෙන මිනිස්සු නොපෑගෙන නිවහල් තැනකට ගේන්න ඕනෙ. මැරෙන්න කලින් එවැනි සමාජයක් දකින්න ආසයි. ඒ නිසා නිවැරදි දැක්මක් සහිත පක්ෂයකට වැඩි බලයක් ලබා දීම සඳහා අපේ මිනිස්සුන්ට ඥානය පහළ වේවා කියල අවසන් වශයෙන් ප‍්‍රාර්ථනා කරනවා.
සංවාදය භාතිය ගුණසේන









