පොත්වල වැට්එකට මොකද වෙන්නේ… අගමැතිගෙන් අනාවරණයක්…

පොත්වල වැට්එකට මොකද වෙන්නේ… අගමැතිගෙන් අනාවරණයක්…

ඉදිරි අයවැයෙන් පොත් සඳහා පනවා ඇති වැට් බදුවල වෙනසක් සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

ඇය මේ බව අවධාරණය කළේ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 27 වැනි වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී නිල වශයෙන් විවෘත කරමින් පැවැති සමාරම්භක උත්සවයට එක්වෙමිණි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් පවත්වාගෙන යනු ලබන “දරු දිරිය” ශිෂ්‍යත්ව අරමුදල යටතේ සිසුන් වෙත ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමද අගමැති ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ, මෙවර අයවැය තුළින් පොත් සඳහා පනවා ඇති වැට් බදුවල විශේෂ වෙනසක් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිතුමා තමන්ට විශේෂයෙන් දැනුම් දුන් බවය.

පොත්වල වටිනාකම දන්නා රජයක් ලෙස එවැනි වෙනසක් ජනතාවට කෙතරම් වැදගත්ද යන්න රජය හොඳින්ම වටහාගෙන ඇති බවද ඇය එහිදී සඳහන් කළාය.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, වසරකට වරක් පැවැත්වෙන තවත් එක් ප්‍රදර්ශනයක් පමණක් නොව, එය මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බලාපොරොත්තුවෙන් සිටින සංස්කෘතික ජීවිතයේම කොටසක් බවත්, 1999 වසරේ ඇරඹි මෙම ගමන දශක දෙකකට වැඩි කාලයක් පුරා මෙරට කියවීමේ සංස්කෘතිය පෝෂණය කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

කියවීම යනු වෙනත් අයෙකුගේ ජීවිතයක්, සමාජයක්, සංස්කෘතියක් හා මතයක් තේරුම් ගැනීම බවත්, සහකම්පනයෙන් යුතු සමාජයක් ගොඩනැගීමට එය මහත් පිටිවහලක් වන බවත් අගමැති  සඳහන් කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමට මෙන්ම පාසල් කාලය තුළ කියවීම සඳහා වැඩි කාලයක් වෙන් කිරීමේ වැදගත්කම පිළිබඳවද ඇය මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් සුබසිංහ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි ඇතුළු ලේඛකයන්, ප්‍රකාශකයන් සහ ආරාධිත පිරිසක් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්