ඒ අවුරුදු 43 ගෙවී ගියේ බොහෝ දෙනෙකුට හොර රහසින්, වහන් වෙලා වගේ. එදාත් ඇසළ මාසයේ තවත් දවසක්. ඇසළ මාසය කියන්නේ, අපූරු සංස්කෘතික බැඳීම් ගැන කියැවෙන මාසයක්. ශ්‍රී ලාංකික හින්දු ආගමික බැතිමතුන් යාපනයේ ඉඳලා පානම හරහා යාල මහ කැලේ මැදින් කතරගමට පාද යාත්‍රාවක් එනවා. කඳුකරයේ හැටන්වල ඉඳලා නුවරඑළිය, වැලිමඩ, ඇල්ල, තනමල්විල හරහා කතරගමට තවත් පාද යාත්‍රාවක් එනවා. බෞද්ධ ආගමික බැතිමතුන් නුවර දළදා පෙරහැර පවත්වනවා. හින්දු බැතිමතුන් කතරගම පෙරහැරට යනවා වගේම නුවර දළදා පෙරහැරටත් යනවා. බොදුනු බැතිමතුන් දළදා පෙරහැරට වගේම කතරගම පෙරහැරටත් යනවා. 1983 ඇසළ මාසයෙත් මේ සංස්කෘතික මංගල්‍ය උළෙලට වෙන අවුරුදුවල වගේම හාත්පස සොබාදහම සූදානමින් සිටියා.
1983 ජූලි මාසයේ මුල් දවස් ටික සාමාන්‍ය විදිහට ගෙවී ගියා. 23දාට හිරු පායා ආවේ වෙනදා වගේමයි. නොහිතූ මොහොතක හිටි ගමන් දහවල් කාලයේ කොළඹ, බොරැල්ල කනත්ත ආසන්නයේ ඉඳලා මරදාන දක්වා කළු දුම් රොටු පුලුටු ගඳ ගස්සමින් අහසට නැගෙන්න පටන් ගත්තා. මෙරට ඉතිහාසයේ කළු දිනයක් වුනා පමණක් නොවෙයි, ලෝකයා හමුවේ, ශ්‍රී ලංකාව ”ම්ලේච්ඡයන්ගේ දිවයිනක්” යනුවෙන් නම් කෙරුණු ”කළු ජූලිය” දියත් කළා. දවස් ගාණක් මේ ගින්නට ඉඩ දී පාලකයන්ගේ නිහඬ අනුග්‍රහය ලබා දුන්නා.
කළු ජූලිය ගැන යම් පමණක් කියවීමක් එදා මෙදා තුළ මෙරට වගේම පිටරටදීත් කර තිබෙනවා. මේ කළු ජූලියේදී පණපිටින් පුච්චා දැමූ මිනිසුන් අතර ”කේ. වෙන්කට්” නැතිනම් ”කේ. වෙන්ගඩාසලම්” යන නමින් හැඳින්වූ මිනිසෙකුත් හිටියා. ඔහු සුවිශේෂී මිනිසෙක්.
හැම මිනිසෙක්ම සුවිශේෂී තමයි. කේ. වෙන්කට් කියන මේ මිනිසා ඒ සියලු දෙනාම අතරින් සාතිශය සුවිශේෂීයි. ඒ මන්ද කියනවා නම් ඔහු පොදු ජන අධ්‍යාත්මයේ පොපියන හදවතක් තිබූ මිනිසෙක් වූ නිසා. මිනිසුන්ගේ ජීවිතය ලස්සන කරන්න, හරයාත්මකව පෝෂණය කළ මිනිසෙක් වූ නිසා. 1966 වර්ෂයේදී කේ. වෙන්කට් නම් මිනිසා අධ්‍යක්ෂණය කළ ”මහ රෑ හමුවූ ස්ත්‍රිය” චිත්‍රපටය තිරගත කළා. ”සරවන බව කඳ සුරිඳුගෙ තෙද බලේ” කියන මොහිදීන් බෙග් ගායනා කළ ගීතය තිබෙන්නේ මේ චිත්‍රපටයේ. ඒ ගීතය ලියුවේ කරුණාරත්න අබේසේකර. සංගීතවත් කළේ, එම්.කේ. රොක්සාමි.
නිර්මාණාත්මක අධ්‍යාත්මයේ සටහන් වී තිබෙන මේ නම් කියවෙන කොට, දෙයක් දැනුනා නේද? චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කේ. වෙන්කට්. සංගීතය; එම්.කේ රොක්සාමි. මේ දෙදෙනාම දෙමළ ජාතිකත්වයේ සංස්කෘතික මිනිසුන්. ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර. සිංහල ජාතිකත්වයේ සංස්කෘතික මිනිසෙක්. මේ හතර දෙනා හින්දු, බෞද්ධ, ඉස්ලාම් ආගමික අධ්‍යාත්මයේ මිනිසුන් බවත් පැහැදිලියි. ඒ වගේම ”ජීවන විල මැද වැජඹෙන කැකුළකි” ගීතය අපි කාටත් මතකයි. සුජාතා අත්තනායක ගායනා කළ මේ ගීතය ලියලා තියෙන්නේ කරුණාසේන ජයලත්. සංගීතය එම්.කේ. රොක්සාමි ගෙන්.

කේ. වෙන්කට් නම් මිනිසා සිංහල චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හැටියට රසික පර්ෂදය අතරට එන්නේ මෙන්න මේ සංස්කෘතික සංයෝජනය එක්ක. ”සරවන බව කඳසුරිඳුගෙ තෙද බලේ” කියාගෙන. ශ්‍රී ලාංකේය ජනතාව අතර, සබඳතාවන් හා ආගමික සංහිඳියා අධ්‍යාත්මය නිර්මාණය වී තිබෙන්නේ මෙන්න මේ වගේ යෝධ බර අඩි තැබීම්වලින්. ඉංග්‍රීසි යටත් විජිතවාදීන් 1833 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙන්නේ ම, මේ බැඳීම්වලින් බෙදා වෙන්කරන්න. ඒත් මිනිසුන්ගේ ”සංස්කෘතික අධ්‍යාත්මය” බලය යොදවා ව්‍යවස්ථාවලින් බෙදා වෙන් කරන්න බෑ. කේ. වෙන්කට් නම් මේ මිනිසා ඔහුගේ නිර්මාණ චාරිකාව පුරාම තහවුරු කළේ ඒ බවයි.
1969 දී ”උතුම් ස්ත්‍රිය” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල යුවල ගායනා කළ ”යුරෝපයේ හිම වැටෙනා කාලේ සීතල ඇඟට දැනේ” කියන ගීතය ඇතුළත් වෙන්නේ මේ චිත්‍රපටයට. ගීතය ලියුවේ ධර්මසිරි ගමග්. ඉන්දීය තනුවක් යොදාගෙන සංගීතය යෙදවූයේ ආර්. මුත්තුසාමි. 1972 දී තිරගත කළ ”අද මෙහෙමයි” චිත්‍රපටය අප කතා නායකයාගේ තුන්වැනි අධ්‍යක්ෂණය. කරුණාරත්න අබේසේකර ලියූ එච්.ආර් ජෝතිපාල ගායනා කළ ”ජීවිතේ තරුණ කාලේ – එකසේ නොරැඳේ” නම් ජනප්‍රිය ගීතය මේ චිත්‍රපටයෙන්. ඉන්දීය තනුවක් ඇසුරෙන් සංගීතය සැපයූවේ, ආර්. මුත්තු සාමි.
කේ. වෙන්කට් අධ්‍යක්ෂණය කළ හතරවෙනි චිත්‍රපටිය 1973 දී තිරගතවූ ”ගොපලු හඬ”. ජනප්‍රිය ගීත ගණනාවක්ම ඊට ඇතුළත් වුණා. හරූන් ලන්ත්‍රා ගායනා කළ ”මගේ නාමලී බැඳි ආදරේ – මනමාලියයි මැණිකේ ඔයා” ගීතය මේ චිත්‍රපටයේ බව බොහෝ දෙනෙක් දන්නවා. ලීවේ, ධර්මසිරි ගමගේ. සංගීතය ඉන්දීය තනුවක් ඇසුරෙන් යෙදවූයේ ආර්. මුත්තු සාමි. මල්ලිකා කහවිට සහ මල්ලිකා පෙරේරා ගායනා කළ ”පුංචි පුංචි මල් වගේ – රංචු රංචු වී” ගීතය ලීවේ, ශ්‍රී නිහාල් ජයසිංහ. සුජාතා අත්තනායක ගායනා කළ ”විල් නිල් පාරු තොටිල්ලේ” ගීතයත් ඇතුළත්. ඔහුගේ චිත්‍රපට අධ්යක්ෂණ චාරිකාව 1975 දී තිරගත කළ ”දමයන්ති” 1977දී තිරගත කළ ”නිලූකා” 1978 දී තිරගත කළ ”ශ්‍රී පතුල” සහ 1980 දී තිරගත කළ ”මගේ අම්මා” වශයෙන් චිත්‍රපට අටක් දක්වා ගමන් කරනවා.
මේ චිත්‍රපට අට අතරින් වැඩි දෙනෙක් දන්නේ ”මහ රෑ හමුවූ ස්ත්‍රිය”, ”ගොපලු හඬ” හා ”සිරි පතුල” කියන චිත්‍රපට ගැන විතරයි. අනෙක් චිත්‍රපටවල නිශ්චල ජායාරූප හෝ වැඩි විස්තර නැති ගානයි. කොහොම වුණත් කේ. වෙන්කට් නම් මේ මිනිසා පණ පිටින් පුච්චා දැමූ පසු බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී තිබෙන්නේ ”සිරි පතුල” චිත්‍රපටය. ශ්‍රී පාද කන්ද කරුණාකර ශ්‍රී පතුල වන්දනා කරන ”යන්නම් මදාය නදියා” ගාථාව පණ්ඩිත් අමරදේව ගායනා කළා. ”ඒකායනෝ අයං භික්ඛවේ” නම් සතිපට්ඨාන සූත්‍රය අමරදේවගේ හඬින් මේ චිත්‍රපටයට සජ්ජායනය කර තිබෙනවා. ඊට අමතරව බොහෝම කතා බහට ලක්වී තිබෙන්නේ කරුණාරත්න අබේසේකර ලියූ ”මිනිසාමයි ලොව දෙවියන් වන්නේ” සහ ”කරුණාවයි, කරුණාවයි – සමන් දෙවිඳු කරුණාවයි” යන ගීතද්වයයි. මේ ගීත දෙකම අල්හාජ් මොහිදීන් බෙග් ගායනා කර තිබෙන්නේ රසික ප්‍රජාව තුළ අතිශය භාවාත්මක හැඟීම් ඇති කරමින්. සංගීතය එන්.කේ රොක්සාමිගේ ස්වතන්ත්‍ර තනුවලින් නිර්මාණය කර තිබෙනවා.
මිනිස් ජීවිත බිලි ගනිමින් දේපොළ ගිනි තබා අළු කරමින් මහා ජාතිවාදී ගින්නක් දේශපාලන බලයේ හස්තවලින් දියත් කළේ, එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරේදී බිම්බෝම්බයකින් හමුදා භටයන් 13 දෙනෙකු ඝාතනය කිරීම නිසා. උතුරේදී කළ ත්‍රස්තවාදී ක්‍රියාවට පළි ගත්තේ දකුණේ අහිංසක දෙමළ ජනතාවගෙන්. ඡන්ද හිමි නාමලේඛන අනුව දෙමළ ජනතාව සොය සොයා ගොස් පහරදී ඝාතනය කිරීමේ ම්ලේච්ඡ මෙහෙයුමක් දියත් කළා. දේපොළ ගිනි තබා හළු කළා. මුළු රටම ඒ ඇසළ මහේ කළු දුමෙන් වෙලා ගනිමින් තිබුණා. ”සිරි පතුල” ඇතුළු චිත්‍රපට එක්ක තවත් චිත්‍රපට කිහිපයක දළ සේයා පට එක්කම කේ. වෙන්කට් වත් ඔහු ගමන් කළ කාර් රථය ඇතුළේම පුච්චා දැම්මා.
අවුරුදු 43කට පස්සේ කේ. වෙන්කට් ගැන ස්මරණ සටහනක් තැබෙන්නේ ඒ ඔස්සේ. ඔහුගේ පවුලේ කිසිම කෙනෙක් ලංකාවේ නැති බව පුළුල්ව කළ සොයා බැලීම්වලදී හෙළිවුණා. චිත්‍රපටි කියන්නේම දෘශ්‍ය මාධ්‍යයක්. ඒ කියන්නේ චරිතාංග නිරූපණය මූලික වෙනවා. ඉහත සටහනේ කිසිම තැනක චරිතාංග නිරූපණය කළ කිසිම කෙනෙක් ගැන සඳහන් කර නෑ. ඒක එහෙම වුණේ හේතුවක් ඇතිව. කේ. වෙන්කට්ගේ චිත්‍රපට ගැන සොයා බලන කෙනෙකුට, සවිස්තර හදාරන ඕනෑම කෙනෙකුට ඉඩ විවෘත කරන්න හෝඩුවාවල් විදිහට කෙටි සටහනක් තැබුවා පමණයි.
මේ සටහන ආරම්භයේදීම ”සංස්කෘතික ආධ්‍යාත්මය” ව්‍යවස්ථාවලින් බෙදලා වෙන් කරන්න බැරි බව කීවා. අන්න එහෙම දේශපාලන, අධිකරණ, අවි, කියන කිසිම බලයක් හමුවේ බෙදලා වෙන් කරන්න බැරි වූ අධ්‍යාත්මය ”කළු ජූලියෙන්” බෙදලා වෙන් කළා. අවුරුදු තිහකට ආසන්න කාලයක් සමූහ ඝාතක බෝම්බ, කපා කොටා දැමීම්, වෙඩි උණ්ඩ බිලියන ගණනක් පත්තු වීම් පටන් ගත්තේ කළු ජූලියෙන්. සිංහල, දෙමළ, මුස්ලිම් ජීවිත ලක්ෂයක් විතර බිලි ගැනීම පටන් ගත්තේ ඇසළ මංගල්‍යය මහනුවරත් කතරගමත් පවත්වන ජූලි මාසයේදී. ඉංග්‍රීසි යටත් විජිත පාලකයන් 1833 මුලින්ම හඳුන්වා දුන්න බෙදා වෙන් කිරීමේ පාලනයට කිසිම ඉඩක් 1983 වෙන කල්, හරියටම අවුරුදු 150ක් පුරා ලැබුණේ නෑ. සිංහල ජාතිකත්වය පැත්තෙන් දෙමළ ජාතිකත්වය පැත්තෙන් විතරක් නොවෙයි මුස්ලිම් ජාතිකත්වය පැත්තෙනුත් විවිධ අවස්ථාවලදී දේශපාලන බල ලෝභීන්ගේ උසි ගැන්වීම් නිසා ගහ මරා ගැනීම් සිදු වුණා. ඒත් මේ මහ පොළොවේ ජීවත් වූ මිනිසුන්ගේ ජාතික සංස්කෘති අධ්‍යාත්මය බෙදන්න, ඒ අවුරුදු 150 පුරාම බැරි වුණා.
ඉංග්‍රීසි යටත් විජිත පාලකයන්ගෙන් පස්සේ 1947 දී පුරවැසි පනත සම්මත කර, 1948දී ක්‍රියාත්මක කිරීම දක්වා පැමිණියා. ඉන්පසු 1956 පැය 24න් සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ දේශපාලන වේදිකා සූදුව දියත් කළා. පස්සේ අවස්ථා කිහිපයකදී 50:50 ඉල්ලීම, 1972දී කොල්වින් ආර්. ද සිල්වා ඉදිරිපත් කළ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒ යටතේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ ප්‍රමිතිගත කිරීම, ආදී සියල්ලම දෙමළ භාෂාව කතා කරන ජනතාවට දරුණු රිදවීම් කළ අවස්ථා. ඒත් සිංහල, දෙමළ ජාතිකත්ව අතර ආධ්‍යාත්මික බැඳීම් තීරණාත්මකව බිඳ දැමීමට කෙසේවත් බැරි වුණා.
සියවස් එක හමාරක පමණ කාලයක් බැරි වුණ දේ කරන්න මුල පිරුවේ 1977 දී, ජේ.ආර් ජයවර්ධන ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය ලබා ගත්, ජූලි 21 පැවැත්වූ මහා මැතිවරණයෙන්. ඔවුන් බලය අරගෙන මාසයක් ගත වෙන්නත් ඉස්සර අගෝස්තු 17 වැනිදා මහා ජාතිවාදී ගිනි තැබීම්වලට මුල පිරුවා. 1981 ජූනි සංවර්ධන සභා ඡන්ද කොල්ලය සහ 1983 කළු ජූලිය ගැන බොහෝ දෙනෙකු කතා කරනවා. මෙන්න මේ අගෝස්තු 17 සිට දවස් කිහිපයක් පුරා රජ කළ ම්ලේච්ඡත්වය ගැන අවධානයක් ඇත්තේම නෑ. ඉංග්‍රීසීන්ගේ සිට සියවස් එක හමාරකට ආසන්න කාලයක් පුරා බිඳින්න බැරි වූ ”ජාතික සංස්කෘතික අධ්‍යාත්මය” ගිනි තැබීම, බිඳ දැමීම පටන් ගත්තේ අගෝස්තු 17 වැනිදා.
එහෙම කියන්නේ කරුණු සහිතව. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ”හරියට රාජකාරිය කළ” නිලධාරියෙකු වූ, ඒ.පී.ඒ ගුණසේකර විශ්‍රාම ගිහිං පොතෙක් ලියුවා. ”හොරොව්පතානේ පළවෙනි ඩීයාරෝ.” ඒ පොතේ නම. තමන්ගේ අත්දැකීම්, අත්විඳීම් දෙකම ඇසුරින් සියූ පොතේ ”1977 පදවිය” කියන පරිච්ඡේදය සාක්ෂි දෙන්නේ ඒ ආරම්භය ගැන.
”බලන්න, යාල්දේවි කෝච්චියේ බුෆේ එකේ වැඩ කරන සිංහලයෙකුයි කෝච්චියේ ගමන් කළ දෙමළ මගියෙකුයි අතරේ ඇති වුණු පෞද්ගලික රණ්ඩුවක් ගියපු දුර. මේ පටන් ගත්තා විතරයි. අවසානයේ කොහොම වෙයිද කියන්න බැහැ.” (54 පිටුව)
”කෝච්චිය අනුරාධපුරයට ආවාම අර බුෆේ එකේ මිනිහා ස්ටේෂන් එකේ හිටපු මිනිසුන්ට කියලා දෙමළ මිනිස්සු සිංහල මිනිසුන්ට ගහනවා කියලා. එතකොට ස්ටේෂන් එකේ හිටපු රස්තියාදු කාරයෝ දෙමළ පැසෙන්ජර්ස්ලාට ගහලා. එස්.එම්. පොලිසියට දන්වලා. පොලිසියෙන් ඇවිල්ලා තමයි කෝලාහලය නතර කරලා තියෙන්නේ. පෞද්ගලික රණ්ඩුවක් ජාතිවාදී කෝලාහලයක් වෙලා.” (28 පිටුව)
මේ රස්තියාදු කාරයෝ කියන්නේ කවුද? ඡන්දයෙන් පස්සේ ශ්‍රී ලංකා කාරයෙන්ගේ ගෙවල් ගිනි තියා, කොල්ලකා, පහරදී සහ මරා දමා දියත් කළ දේශපාලන පිළිගැනීම්වලින් රජ කළ පාදඩයන්. එදා ඉඳලා දේශපාලන අනුග්‍රහයෙන් මේ පාදඩයන් රජවී මැති ඇමතිකම් දක්වා පරිණාමය වුණා. ඒ සමස්ත ක්‍රියාවලිය තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්ව අතර සතුරු ආකල්ප ඇතිකර, ශක්තිමත් කළා. ආගමික සහජීවනය බිඳ දමමින් බල සූදුවක යෙදුණා.
කේ. වෙන්කට් පිළිබඳව වසර 43කට පස්සේ සමරන්නේ උතුරත් දකුනත් භේදයක් නැතිව, නැගෙනහිරත් බටහිරත් භේදයක් නැතිව සංහිඳියාව ශක්තිමත්ව වැඩෙමින් පවතින පසුබිමක. ”ශ්‍රී ලාංකීය සිනමාවේ කේ. වෙන්කට් අධ්‍යාත්මය” ගිනි තබා වනසා දැමිය නොහැකි බව තහවුරු කෙරෙමින් තිබෙන පසුබිමක. මේ අනුව කේ. වෙන්කට් කියන්නේ ඓතිහාසික සංකේතයක්. ජාතික සංස්කෘතික අධ්‍යාත්මය යළි කිසිදා පුංචියට හරි පලුදු කරන්න බැරි බව තහවුරු කිරීම කේ. වෙන්කට් සැමරීමේ ජීවමය ගුණය වෙනවා.
නන්දිමිත්රගේ සතියේ සටහන










