පසුගිය ආණ්ඩු කිහිපයකම ප්‍රබලයෙකුව සිටි හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතෙකු රුපියල් කෝටි දෙකක මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමත් සමග විශ්ලේෂකයන්ගේ අවධානය ඒ කෙරෙහි දැඩිලෙස යොමුවී තිබේ.
ඔවුන් සඳහන් කරන්නේ පොලිස් පරීක්ෂණ අදාළ නිවැරදි ආකාරයෙන් සිදුකරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි. ජූලි 13වැනි දින චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් මංකොල්ල කෑම මෙහෙයවා ඇත්තේ ශාන්ත බණ්ඩාරගේ පුත‍්‍රයාය. ඔහු තවත් පුද්ගලයන් ගණනාවක් යොදා ගනිමින් මෙම මංකොල්ලය සිදුකර තිබිණි. පොලිසිය මංකොල්ලකරුවන් පිළිබඳව තොරතුරු විමර්ශනය කරමින් සිටි අතර, සියලු කරුණු තහවුරු වීමත් සමග දින හතකට පසුව ශාන්ත බණ්ඩාරගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම අත්අඩංගුවට ගැනීමෙන් හෙළිවී තිබෙන්නේ හිටපු මැති ඇමතිවරුන් දේශපාලන බලය යොදවමින් මහජන ධනය මංකොල්ල කෑම මගින් ගොඩනඟාගත් ජීවිත පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණ දී සිටින බවය. එම නිසා මේ ආකාරයෙන් අපරාධ කල්ලි සංවිධානය කර ගනිමින් මංකොල්ල කෑමට පටන් ගෙන ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ශාන්ත බණ්ඩාරගේ මෙම පුත‍්‍රයාට වයස අවුරුදු 18ක්ව තිබියදී ඔහුගේ නමින් සුරාසැල් බලපත‍්‍රයක්ද ලබාගෙන තිබූ බව මේ වනවිට හෙළිවී ඇත.










