මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අද දහවල් කොල්ලුපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර ලබන ජුලි මස පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුවය.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී කමිටුව විසින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ සිදු වූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව.
2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම මොහුට එල්ල වී ඇති චෝදනාවය.
සුගීෂ්වර බණ්ඩාර මහතා ඉහත තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිතා කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන්ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වන බව පොලිසිය පවසයි.
ඒ අනුව අත්අඩංගුවට ගැනුණු සුගීෂ්වර බණ්ඩාර අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියා සිටියේ මොහු විශ්‍රාමික ජනාධිපතිගේ ලේකම් වශයෙන් රුපියල් දහනව ලක්ෂ තිස්තුන්දහස් හැටපහක (රු. 1,933,065) මුදලකුත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රුපියල් හතලිස් දෙලක්ෂ විසිහය දහස් ටසීය අසූ හතරයි සත පනස් නවයක් (රු. 4,226,884.59) අවභාවිත කර ඇති බවය.
ඒ අනුව පොදු දේපළ පනතේ 5 (1) යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරු වැරදි සිදු කර ඇතැයි විමර්ශකයින් අධිකරණය හමුවේ සඳහන් කර ඇත.
ඉන් අනතුරුව සුගිෂ්වර බණ්ඩාර වෙනුවෙන් පෙනි සිටි නිතීඥ මඩුල්ල අධිකරණය හමුවේ කියා ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීම සාක්ෂි කිසිවක් නොමැතිව ද්වේශසහගතව සිදු කළ නීතිවිරෝධි අත්අඩංගුවට ගැනීමක් බවය.
විශ්‍රාමික ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් වශයෙන් ඔහුගේ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයට යවා තිබුණත් ඔහු එවැනි දීමනාවක් ලබාගෙන නොමැති බවත් අදාළ මුදල් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ගිණුමකට බැරව ඇති බවත් නීතිඥයින් අධිකරණය හමුවේ පවසා ඇත.
එවැනි දීමනාවක් තමන්ට අවශ්‍ය නොවන බවට සුගිෂ්වර බණ්ඩාර ලිඛිතව හිටපු ජනපතිට දැනුම් දී ඇති බවද නීතිඥයින් වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇත.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර ඇත්තේ සැකකරු ජුලි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර කරන ලෙසයි.
එමෙන්ම විමර්ශන කඩිනම් කර සැකකරුව අදාළ තනතුරු සඳහා පත් කළ පාර්ශ්වයන්ගෙන් හා අදාළ මුදල් බැරවු ගිණුම් හිමිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විමර්ශකයින්ට නියෝග කර ඇත.










