2019 දී බොලිවියානු සමාජවාදී ව්‍යාපාරයේ නායක හා හිටපු ජනාධිපති Evo Moralesගේ සමාජවාදී පාලනය හමුදාව විසින් බලයෙන් පහ කිරීමත් සමග ඇරඹුණු සමස්ත වසර 06ක කාලය තුළ රටේ උද්ධමනය 20%ක් වී, ස්වභාවික ගෑස් අපනයනය මන්ද ගාමි වී, විදේශ සංචිත ද අවසන් වී බොලිවියාව දරුණු අර්බුදයකට මුහුණ දී සිටි. අයවැය හිඟය දල ජාතික නිෂ්පාදනයෙන් 12% දක්වා ඉක්ම ගොස් ඇත. ඖෂධ, ආහාර, යටිතල පහසුකම් නොමැති වීමෙන් රට පුරා ඇති වී තිබෙන දැවැන්ත විරෝධතා හේතුවෙන් අගනුවර “ලා පාස්” අඩපණ වී ඇත. වෘත්තීය සමිති, පතල් කම්කරුවන්, සිසුන්, ගුරුවරුන්, ආදී වාසීන් සහ ගොවීන් රට අර්බුදයෙන් ගොඩ ගැනීමට මාස හයකට පෙර තේරී පත් වූ ට්‍රම්ප් ගේ නියෝජිත Rodrigo Paz Pereira ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සමස්ත රට පුරාවටම උද්ඝෝෂණ කරමින් සිටිම නිසා රජය හදිසි නීති තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. අරගකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ලෙස හඳුන්වමින් මර්දනය දියත් කර ඇත.
ස්වාභාවික ගෑස්, සින්ක්, රිදී සහ ලිතියම් මෙන්ම කෘෂි බෝග හා මස් අපනයනයෙන් ලැබෙන අදායම් රටේ සමස්ත ජනතාවගේ සුබ සාධනය සඳහා සමානව, සාධාරණව බෙදී යාම සඳහා හිටපු ජනාධිපති Evo MORALES (2006-2019) සකස් කර තිබු සියලු ව්‍යාපෘති අහෝසි කරමින් රට පාලනය කිරීමට නව පනත් ඉදිරිපත් කල නව ලිබරල් ජනාධිපති Rodrigo Paz Pereira ට එරෙහිව ඒ අනුව ජනතාව නැගී සිට ඇත. තෙල් හා ගෑස් නිෂ්පාදකයෙකු වුවද බොලිවියාව එහි ඩීසල් වලින් 80%කට වඩා සහ පෙට්‍රල් වලින් 60%කට වඩා ආනයනය කරනු ලබන්නේ විදේශ රටවල් වලිනි. නව රජය රටේ මිනිරන් පතල් හා කෘෂි ව්‍යාපාර බහුජාතික සමාගම්වලට විකුණන ආර්ථික වැඩසටහනක් යෝජනා කිරීම, එක්සත් ජනපදය සමඟ නිල සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සහ ලා පාස් හි ඇමරිකානු තානාපති කාර්යාලය නැවත විවෘත කිරීම, ඊශ්‍රායලය සමඟ සබඳතා නැවත ආරම්භ කිරීම සහ බහුජාතික සමාගම් වලට වාසි දායක වන ලෙස හා පරිසර වාර්තා නොමැතිව එම සමාගම් සමඟ ලිතියම් සැපයුම් ගිවිසුම් අත්සන් කිරීම මෙම විරෝධතා වලට ප්‍රධාන හේතු ලෙස දැක්වේ.
එසේම වසර 20ක් පුරා Evo MORALES රජය විසින් ජනතාවට ලබා දුන් ඉන්ධන සහනාධාරය කපා දැමීම නිසා ප්‍රවාහන වියදම් ඉහළ යාමත්, එම නිසා සියලුම භාණ්ඩවල මිල ඉහළ යාමෙන් ඉහළ උද්ධමනයක් රට තුළ ඇතිවී ඇත. ඉන්ධන හිඟයකට පිළියමක් ලෙස ප්‍රමිතියෙන් තොර ඉන්ධන ආනයනය නිසා එහි ඉහළ මිලට අමතරව, දහස් ගණනක් වාහන වලට හානි ද සිදු වී තිබේ. නව ලිබරල් රජය විදේශ ආයෝජන දිරි ගැන්වීම සඳහා බදු අගයන් පහළ දමමින් ස්වාභාවික සම්පත් (ලිතියම්, බලශක්තිය සහ යටිතල පහසුකම් වැනි ඛනිජ) අපනයනයෙන් ලැබෙන ආදායම් අන්තර්ජාතික මුල්‍ය ඒකක වලට මාරු කිරීම පහසු කිරීම, පැරණි ණය ආපසු ගෙවීමට සහ බැංකු නැවත ප්‍රාග්ධනීකරණය කිරීමට ඍජුවම විදේශ මුල්‍ය ආයතන වලින් අධික පොලියට විදේශ ණය ලබා ගැනීමේ හැකියාව වෙළඳ බැංකු වලට පහසු කිරීම නිසා ජිවන වියදම නොසිතු ලෙස ඉහල ගියේය.
රාජ්‍ය වියදම් කපා හරමින් රාජ්‍ය සේවා සඳහා මුදල් (අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහනය) දැඩි ලෙස අඩු කිරීම සහ අර්බුදයේ බර කම්කරු පන්තිය මතට මාරු කිරීම යන කාරනා නිසා අර්බුධය තවත් උග්‍ර විණි. ඉඩම් ප්‍රතිසංස්කරණ ගෙන එමින්, වනාන්තර සංහාරය ත්‍රිව කර ඒවා බහු ජාතික සමාගම් සඳහා විකිණීම පහසු කිරීමට නීති සකස් කිරීම නිසා ආදී වාසි ජනතාව ද තම සම්ප්‍රදායික අරගල ක්‍රමවේදය අනුව අගනුවරට පෙළපාලියකින් පැමිණියහ. මේ වන විට එල්ලවන දැවැන්ත විරෝධය නිසා එම නීතින් තාවකාලිකව Rodrigo Paz Pereiraගේ ලිබරල් රජය විසින් අකුලාගෙන ඇත.
බොලිවියාව යනු දකුණු ඇමරිකාවේ දුප්පත්ම රටවලින් එකක් වන අතර, 2017දී ඇමරිකානු ඩොලර් බිලියන 37.78ක දළ දේශීය නිෂ්පාදිතයක් (GDP) වාර්තා කරනු ලැබිණි. Evo MORALES පාලන කාලය තුල බොලිවියාව යනු ඇමරිකානු උප මහද්වීපයේ වඩාත්ම සක්‍රීයම ආර්ථික වේගයක් තිබු රටවලින් එකකි. 2017දී දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 4.2%ක් පමණ වේ. ඔහුගේ පාලනය 2006 සිට අනුගමනය කරන ලද ප්‍රතිසංස්කරණ මගින් බොලිවියාවේ ආර්ථිකය දකුණු ඇමරිකානු කලාපයේ වඩාත්ම සාර්ථක හා ස්ථාවර රාජ්‍යය බවට පත් කරනු ලැබිණි.
2006 සහ 2019 අතර, දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 09කින් වැඩි වී ඇමරිකානු ඩොලර් බිලියන 40 ඉක්ම වූ බව IMF වාර්තා තහවුරු කරනු ලබයි. වැටුප් ඉහළ ගියේය. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය තුන් ගුණයකින් වැඩි විය. විදේශ විනිමය සංචිත අසාමාන්‍ය ලෙස ඉහල ගියේය. උද්ධමනය තුරන් කරන ලද අතර අන්ත දරිද්‍රතාවය 38% සිට 15% දක්වා පහත වැටුණි. අද එය වසර 06ක් තුළ දී 50%ක් දක්වා යළි ඉහළ ගොස් ඇත.
2019 ඔක්තෝබර් මාසයේ දී, evo MORALES නැවත වරක් ජනාධිපතිවරණ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
විපක්ෂය මැතිවරණය වංචාවක් ලෙස හෙළා දුටු අතර, රට පුරා මහා පරිමාණ විරෝධතා පැන නැගුනි. රටේ පොලිසිය ද නගර කිහිපයක කැරලි ගැසූ අතර රජයට ඔවුන් ලබා දෙන සහයෝගය ඉල්ලා අස්කර ගත්තේය. ඒ අනුව හමුදාව ප්‍රසිද්ධියේ මොරාලෙස්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව 2019 නොවැම්බර් 10 වන දින, මොරාලෙස් ඉල්ලා අස් වූ අතර පසුව බොලිවියාවෙන් පිටව මෙක්ෂිකෝවට හා අර්ජන්ටිනාවට පලා ගියේය. ඔහුගේ ආධාරකරුවන්ට, එය කුමන්ත්‍රණයක් විය. මන්ද හමුදාව ඔහුගේ නික්ම යාමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලැබූ නිසාවෙනි.
ඔහුගේ දක්ෂිණාංශික ලිබරල් විරුද්ධවාදීන්ට නම් එය තරඟකාරී මැතිවරණයක ප්‍රතිවිපාකයක් සහ ජනප්‍රිය හා ආයතනික සහයෝගය ජනාධිපතිවරයාට අහිමි වීමේ ප්‍රතිවිපාකයක් විය. එහෙත් මොරාලෙස්ගේ පක්ෂය වන සමාජවාදය සඳහා වූ ව්‍යාපාරය (MMS), ඔහුගේ මැතිවරණ පදනම ශක්තිමත්ව පවතින බව යලි පෙන්නුම් කරමින් 2020 දී ඔහුගේ හිටපු ආර්ථික ඇමති කෙනෙකු වන Luis ARCE සමඟ නැවත 2020 දී බලයට පත් විණි. Luis ARCE පළමු වටයේ දී මැතිවරණයෙන් ආසන්න වශයෙන් 55% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අතර, එය පුළුල් ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමට තරම් තීරණාත්මක ප්‍රතිඵලයක් විණි. කෙසේ වෙතත්, 2021-2022 සිට, ආර්ස් සහ මොරාලෙස් අතර ගැටුම් ඇති විණි. MAS පක්ෂයේ පාලනය පිළිබඳව සහ 2025 සඳහා ජනාධිපති නාමයෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ගැටුණි.
අවසානයේ ඔවුන් පසුව වෙන වෙනම බොලිවියානු දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවාදීන් බවට පත්විණි.
එකම පක්ෂයක් වන MAS තුළ ඇති කණ්ඩායම් දෙකක් ඇතිවිණි. මෙම කාලය තුල ආර්ථිකය කඩා වැටුණු අතර, Luis ARCE රජයේ ජනප්‍රියත්වය තවදුරටත් දුර්වල විනි. 2025 මැතිවරණය සඳහා, සමාජවාදය සඳහා වූ ව්‍යාපාරය (MAS) එකම දේශපාලන පවුල තුළ කොටස් කිහිපයක් අතර ගැඹුරින් බෙදී ගියේ Luis ARCE (“ආර්කිස්ටාස්”) ආධාරකරුවන්. ඊවෝ මොරාලෙස්ගේ (“එවිස්ටාස්”) ආධාරකරුවන්, විකල්පයක් ලෙස තමාව ස්ථානගත කිරීමට උත්සාහ කළ ඇන්ඩ්‍රොනිකෝ රොඩ්‍රිගස් වටා කේන්ද්‍රගත වූ තුන්වන වාම කන්ඩායමක් ද විය.ආර්ස් සහ මොරාලෙස් අතර එදිරිවාදිකම් කෙතරම් තීව්‍ර වූවාද යත්, අවසානයේ මොරාලෙස් 2025 දී වෙනත් අපේක්ෂකයෙකුට සහාය දැක්වීම සඳහා MAS හැර ගියේය.
මෙම කාලය තුල රටේ ඩොලර් හිඟය, ඉන්ධන හිඟය, උද්ධමනය සහ සමාජ අතෘප්තිය වසර පහ පුරා රට වෙලා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස, වාමාංශික ඡන්දදායකයින් වාම අපේක්ෂකයින් කිහිප දෙනෙකු අතර විසිරී හෝ ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, දක්ෂිණාංශික විපක්ෂය විශ්වාසදායක විකල්පයක් ලෙස මතු විය. එබැවින් 2025 දී MAS හි පරාජයට හේතු වූයේ ආර්ථික අර්බුදය සහ එහි අභ්‍යන්තර ඛණ්ඩනය යන දෙකම තුලය. 2025 නොවැම්බර් මාසයේ සිට, ජනාධිපති වරයා ලෙස Rodrigo Paz Pereira පත් වූ අතර ඔහු වසර විස්සකට ආසන්න MAS සමාජවාදී ආධිපත්‍යය අවසන් කළ ට්‍රම්ප් ගේ මිතුරෙකු විය. ආර්ථික අර්බුදය, ඩොලර් සහ ඉන්ධන හිඟය සහ ආර්ස් සහ මොරාලෙස්ගේ ආධාරකරුවන් අතර බෙදීම් වලින් පැන නගින අතෘප්තියෙන් ඔහු ප්‍රතිලාභ ලැබීය.
නමුත් ඔහු බලයට පැමිණ මාස 06 කාලය තුල ලිබරල් ප්‍රතිසංස්කරණ ඇතිකරමින් රටේ ගෑස්, මිනිරන් පුද්ගලික කරණය කරමින් මර්දන කාරී ප්‍රවාහයකට රට පත් කරන්නට විණි. එයට එරෙහිව කම්කරු ව්‍යාපාරය, පතල් කම්කරුවන් සහ ගොවි හා ආදිවාසී ව්‍යාපාර බොලිවියානු දේශපාලන අගනුවර අවහිර කරමින් සිටින අතර ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ පොරොන්දුව මත මාස හයකට පෙර තේරී පත් වූ අන්ත දක්ෂිණාංශික Rodrigo Paz Pereira ඉල්ලා අස්විය යුතු යැයි තරයේ ඉල්ලා සිටී. දක්ෂිණාංශික පාලනය Evo MORALES හට චෝදනා කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරන්තු නිකුත් කර ඇති අතර ඔහුට පක්ෂව අදහස් පල කල කොලොම්බියානු ජනාධිපති Gustavo Petroට විරෝධය පළකරමින් එරට තානාපති වරයාද බොලිවියාවෙන් පිටුවහල් කරනු ලැබ ඇත.
මැයි 01 වන දින, සිට බොලිවියානු ප්‍රධාන වෘත්තීය සමිතිය වන COBය වැඩිවන ජිවන වියදමට සාපේක්ෂව 20%ක පඩි වැඩිවීමක් ඉල්ලමින් සමස්ථ මහා වැඩ වර්ජනයක් කැඳවූ අතර, අගනුවර “ලා පාස්” වෙත දිවෙන විවිධ මාර්ගවල මාර්ග බාධක පහළොවක් ඉදිකර එමඟින් ගමනාගමනය අඩාල කර අගනුවරට සැපයුම් ද අඩාල කරනු ලැබිණි. ගොවීන් සහ ආදිවාසී ජනගහනය, COB, පතල් කම්කරුවන්ගේ සංගමය (FSTMB) සහ පතල් සමුපකාර අංශ, ගුරුවරුන්, පොදු ප්‍රවාහන සේවකයින්, එල් ඇල්ටෝහි අසල්වැසි සංගම්, සිසුන්, අයිමාරා “රෙඩ් පොන්චෝස්” ව්‍යාපාරය, සෞඛ්‍ය සේවකයින්, කුඩා නාගරික වෙළෙන්දන් සහ චාපරේ සහ යුන්ගාස් කලාපවලින් කොකා වගා කරන ගොවීන් එක් වී මසක් පුරා දැවැන්ත අරගලයක් දියත් කරනු ලැබිණි.
මේ වන විට බොලිවියානු දේශපාලන අගනුවර වන ලා පාස් වටා ජනතාව කඳුවුරු ගාසා මාර්ග අවහිර කර ඇත. නව රජය යෝජනා කර ඇති ඉඩම් ප්‍රතිසංස්කරණවලට විරුද්ධ ස්වදේශික ගොවීන්ගේ පා ගමනකින් ආරම්භ වී බොලිවියාවේ බහුලව භාවිතා වන සාමූහික ක්‍රියාමාර්ගයක් වන මාර්ග අවහිර කිරීම් සංවිධානය කිරීමත් සමඟ ස්වදේශික ගොවීන් සහ පතල් කම්කරුවන්ගේ සංවිධාන වෙත පැතිරී එය රට පුරා දැවැන්ත සමාජ ව්‍යාපාරයක් බවට මේ වන විට පත් වී ඇත. මෙම අවහිර කිරීම් අගනුවරට දැඩි ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයන් ඇති කරනු ලැබ ඇති අතර, අනෙකුත් ප්‍රධාන නගරවලට භාණ්ඩ සැපයුමට පවා බාධා කරන අතර ඒවාට ජනතාව එක් වී අවසානයේ රජය පෙරලා දැමීමේ පෙළපාලි බවට පත්වී රටේ ආර්ථික ආතතීන් තව තවත් උග්‍ර කර ඇත.
අරගලයේ ආරම්හයේ දී ඉදිරිපත් වූ ඉල්ලීම් ප්‍රධාන වශයෙන් ආර්ථිකමය වූ නමුත්, ඒවා දැන් දේශපාලන ඉල්ලීම් දක්වා වර්ධනය වී වර්තමාන ජනාධිපති Rodrigo Paz Pereiraට එරෙහිව දෝෂාභියෝගයක් දක්වා වන ඉල්ලීම් බවට පරිවර්තනය වී ඇත. මාස හයකට පෙර 55% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයකින් තේරී පත් වූ Rodrigo Paz Pereira ගේ ජනප්‍රියතාවය වේගයෙන් කඩා වැටෙමින් තිබෙන අතර Evo MORALES ගේ දේශපාලන හා සමාජීය ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට අපේක්ෂා කරන ස්වදේශික කණ්ඩායම් නායකත්වය දෙන නොනවතින අරගලයට සමස්ථ ජනතාව එක්වෙමින් පවතී.
දේශපාලන විචාරකයින් පවසන්නේ බලයෙන් ඉවත් කළත්, Evo MORALES බොලිවියානු සමාජය තුල සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට ඔහු හා ඔහුගේ පක්ෂය වන MAS පසුගිය වසර 20 පුරා සමත් වී ඇති බවයි. රට පුරා ගොඩනගන ලද පක්ෂ කමිටු හා සිවිල් ආරක්ෂක බලකායන් වර්තමාන අරගලය මුවහත් කරමින් සිටි. Evo MORALES ට එරෙහිව අධිකරණය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබුනත්, බොලිවියානු රජය ඔහු සිටින තැන දැන් සිටියත්, ඔහු සොයා යාමට ආරක්ෂක අංශ මැලි වී ඇත. ඔහුගේ අත්අඩංගුවට ගැනීම සිවිල් යුද්ධයක් දක්වා රට තල්ලු විය හැකි බව ඔවුන් අනතුරු හඟවන බව වාර්තා වේ. ග්‍රාමීය හා ආදී වාසි ජනතාව දිවා රාත්‍රීයේ Evo MORALES හට ආරක්ෂාව දෙමින් සිටි.
මෙම අරගලය තුල ගැඹුරු ආර්ථික අර්බුදයක් හා භූ දේශපාලනික අරමුණු ඇති අතර එය පසුගිය දශක දෙක තුළ Evo MORALES විසින් ගොඩනඟන ලද රාජ්‍ය ආකෘතිය තුල සිදුකල දැවැන්ත ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් වේ. බොලිවියාවේ ආර්ථිකය ස්වභාවික සම්පත්, ප්‍රධාන වශයෙන් ගෑස් මෙන්ම තෙල් සහ ලිතියම් ප්‍රවර්ධනය මත සිදුවන එහි වර්ධනය මත පදනම් වී ඇත. Evo MORALES යටතේ, මෙම ක්‍රමය මගින් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය තුන් ගුණයකින් වැඩි කර අන්ත දරිද්‍රතාවය සැලකිය යුතු ලෙස පහත වට්ටනු ලැබිණි. නමුත් එය බිඳුණු සුළු බවක් පෙන්වන බව ඇති වී තිබෙන අර්බුධය සම්බන්ධයෙන් අදහස් පලකරන ඇතැම් ආර්ථික විශේෂඥයයින් විසින් මේ අතර පෙන්වා දේ.
විශේෂයෙන් ලිතියම් නිෂ්පාදනය රුසියානු සහ චීන සමාගම් සඳහා පමණක් ආරාධනා කිරීම හේතුවෙන් බටහිර හා ඇමරිකානු සමාගම් කෝපයට පත් කර ඇති බවත් තාක්ෂනය හා යටිතල පහසුකම් එතරම් දියුණු නැති බොලිවියාව වැනි රටක් එක් කඳවුරකට පමණක් තල්ලු වීම රට තුල දේශපාලන අර්බුධය උග්‍ර වී මට හේතු වී ඇත. කෙසේවෙතත් බොලිවියාව ගිලී සිටින දැඩි දේශපාලන අර්බුධය තුලත් සාපේක්ෂ ආර්ථික ස්ථාවරත්වයක් පවත්වා ගෙන යන අතර එය ආර්ජන්ටිනාවේ අරාජික -නව ලිබරල්වාදියෙකු වන Javier Milei යටතේ සිදුවන රටේ සියළු සම්පත් විකුණමින්, කම්කරු අයිතිවාසිකම් හා සුබසාධන කපා දමමින් යන ගමනට වඩා හාත්පසින්ම වෙනස් වේ. ආර්ජන්ටිනාවේ මෙම නව ගමන් මාර්ගය කෙටි කාලීනව ඵල දැරුවද දීර්ඝ කාලීනව දැවැන්ත ව්‍යසනයකට අද දැමීමට නියමිත බවට ද ඔවුන් පෙන්වා දෙන අතර එය විකල්පයක් නොවන බවද පෙන්වා දේ.
බොලිවියාව සතුව ටොන් මිලියන 21ක ලොව විශාලතම ලිතියම් සංචිතයක් ඇති අතර එය එරට සලාර් ද උයුනි කලාපයේ හි සංකේන්ද්‍රණය වී ඇත. කෙසේ වෙතත්, මෙම භූ විද්‍යාත්මක ධනය ලාභදායී සහ තිරසාර කර්මාන්තයක් බවට පරිවර්තනය කිරීම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් දුෂ්කර බව ඔප්පු වී ඇත. රටට අතිමහත් විභවයක් ඇත, නමුත් එය ගවේෂණය කිරීම ප්‍රධාන තාක්ෂණික, දේශපාලනික සහ පාරිසරික අභියෝගයක් ලෙස පවතී. නමුත් ලොව පුරා මහා බලවතුන් ගේ ප්‍රධාන ගැටුම බවට ලිතුයුම් වැනි දුර්ලභ පාෂාණ බෙදා ගැනීමේ යුද්ධයක් බවට පත් වී ඇති තත්වයක් තුල බොලිවියාව ලෝක වෙළඳ පල තුලට ලිතුයුම් අපනයනය කරන චිලි දේශයට අමතරව දැඩි අවධානයට ලක් වී ඇති රාජ්‍යයකි.
බොලිවියාව තුල Evo MORALES විසින් දිගු කලක් පුරා ආර්ථික හා සමාජීය සාර්ථකත්වය මත මූර්තිමත් කළ ආකෘතිය වඩා සාර්ථක ක්‍රම වේදයක් වන අතර බටහිර හා ඇමරිකාව කළමනාකරණය කිරීම හා ආර්ථිකය විවිධාංකරණයකට ලක් කිරීමක් සිදු කළහොත් එය ලෝකයේ වඩාත් කතා බහට ලක්වන හා ආදර්ශමය රාජ්‍යයක් බවට පත් වීමට නියමිත බවට ද ඔවුහු තවදුරටත් පෙන්වා දේ.












