අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු මහ ඇමති ෂාන් විජයලාල් ද සිල්වා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) නියෝග කර තිබේ.
ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ රජයේ ප්‍රශංපාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව මන්ත්‍රීවරුන්ට පුටු බෙදා දී රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙනි.
සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් බන්ධනාගාර ගත කිරීමේ නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රෝගී තත්වයෙන් පෙලෙන්නේ නම් අදාළ බෙහෙත් වර්ග සන්තකයේ තබා ගැනීමට අවසර ලබා දී ඇත.
2019 වසරේදී දකුණු පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කරමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව රුපියල් ලක්ෂ 165 මුදලකට පුද්ගලික ආයතනකින් පුටු මිලදී ගැනීම හා එම පුටු දකුණු පළාත් මන්ත්‍රීවරුන් 54 දෙනෙකුට බෙදා දෙමින් අස්ථානගත කිරීම තුළින් දූෂණය නම් වරද සිදුකිරීමට අදාළව සිදුකරන විමර්ශනයක් අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.










