විශ්‍රාමික හමුදා සෙබළෙක් අතුරුදන් කිරීමකට ව්‍යාපාරික‍යෙක් අත්අඩංගුවට – ගිනි අවියක් සහ පතරොම් රැසකුත් හමුවෙයි

විශ්‍රාමික හමුදා සෙබළෙක් අතුරුදන් කිරීමකට ව්‍යාපාරික‍යෙක් අත්අඩංගුවට – ගිනි අවියක් සහ පතරොම් රැසකුත් හමුවෙයි

කිරිඳිවැල, නාරංගස්පිටිව ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික යුද හමුදා සෙබළකු මීට වසර 08කට පමණ පෙර පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් රන්පොකුණගම පදිංචි ව්‍යාපාරික‍යෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ගිනි අවියක් සහ පතරොම් රැසක් සමඟ පෙ‍රේදා (08) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ අයෙක් බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ද විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගැහැනු හුටපටයක් ද මේ අතුරුදන් කිරීමට සම්බන්ධ බවට සැක කරන තොරතුරු විමර්ශන නිලධාරින්ට ලැබී තිබේ. සැකකරු 47 හැවිරිදි වියේ පසුවන්නෙකි.

ඔහු සතුව තිබී සොයාගත් ගිනිඅවිය විදෙස් රටක නිෂ්පාදිත පෑනක් හැඩැති කුඩා අවියක් බවත් ඊට යොදන පතරොම් 05ක්ද තිබී හමුවූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අමතර ටී 56 අවිවලට යොදන ප‍තරොම් 04ක්, මිලිමීටර් 09 වර්ගයේ ප‍තරොම් 08ක්, බෝර 12 වර්ග‍යේ පතරොම් 02ක්ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

මෙම විශ්‍රාමික යුද හමුදා සෙබළා පැහැරගැනීම සිදුව ඇත්තේ 2018 වසරේ සැප්තැම්බර් 09 දාය. මේ සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසියට පවුලේ උදවිය විසින් පැමිණිලි කර ඇතත් නිසි විමර්ශනයක් සිදුවී නැත. එබැවින් මෑතකදී පවුලේ උදවිය මේ ගැන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ල පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවට යොමු කරමින් කළ නියෝගයකට අනුව මේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්