ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද”ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute of Neurology) හෙට (01) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුණිගේ සහභාගිත්වයෙන් මෙම සමාරම්භක උත්සවය හෙට පෙරවරු 10.00ට එම පරිශ්‍රයේ දී පැවැත් වීමට නියමිතය.
ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් (Neurology Services) මඟින් මොළය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්වයන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබන අතර, මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් අතිශය පුළුල් හා කාර්යක්ෂම වනු ඇති.
මෙම විවෘත කිරීමට සමගාමීව ස්නායු රෝග විද්‍යා ආයතනය නිර්මාතෘ, දේශමාන්‍ය විද්‍යා ජෝති වෛද්‍ය ඡේ.බී පීරිස්ගේ ඡායාරූපය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති අතින් නිරාවරණය කිරීමටද නියමිත අතර, ස්නායු රෝග විද්‍යා ආයතනයේ අංක 62/63 වාට්ටු සංකීර්ණයද (Neurology unit ward 62/63) නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය.
මෙම ඒකකය එක් වාට්ටුවකට රෝගී ඇඳන් 22 බැගින් වන කාන්තා හා පිරිමි වාට්ටු 2කින්ද සමන්විතය.
මෙම වාට්ටු සංකීර්ණය නවීකරණ කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 52කි.
එමෙන්ම බිම් මහලෙහි භෞත චිකිත්සකත ඒකකය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 22ක මුදලක් ලබාදී ඇත.
මීට අමතරව තෙවෙනි මහලෙහි භාෂා, වෘත්තීය චිකිත්සක ඒකක සහ ශ්‍රවණාගාරය නවීකරණ කටයුතු සඳහා ලබා දී ඇති මුදල රුපියල් මිලියන 25කි.
මෙම වාට්ටුව විවෘත කිරීමෙන් පසුව දැනට 16 වාට්ටුවේ වසර 100කට වඩා පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙනු යනු ලබන ස්නායු ඒකක 03 සහ 04 වඩාත් පහසුකම් සහිතව තදබදයකින් තොරව රෝගීන්ට සහ කාර්ය මණ්ඩලට අවශ්‍ය සැප පහසුකම් සහිතව පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.
මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ අතිරේක ලේකම් වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්භාවනීය අමුත්තන් රැසක් එක්වීමටද නියමිතය.










