ධීවර කර්මාන්තයට ජපන් රජයෙන් ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක්

ධීවර කර්මාන්තයට ජපන් රජයෙන් ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ නැගෙනහිර පළාතේ මිරිදිය ධීවර ප්‍රජාව යළි නගා සිටුවීම සහ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කරගනිමින්, ඇමරිකානු ඩොලර් මිලියන 1.33ක් හෙවත්  රුපියල් මිලියන 438ක් පමණ සුවිශේෂී ව්‍යාපෘතියක නිල ගිවිසුම් අත්සන් කිරීම ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (29) කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී සිදු කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය ජපාන රජය විසින් ලබාදෙන අතර, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට නියමිතය.

මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (H.E. ISOMATA Akio) සහ FAO නේවාසික නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් (Mr. Vimlendra Sharan) අත්සන් තබා ඇත.

නැගෙනහිර පළාතේ තෝරාගත් ජලාශ 30ක මත්ස්‍ය කූඩු 200ක් (Fish Cages) ස්ථාපිත කිරීම, අදාළ ජලාශ සඳහා අවශ්‍ය Barrage nets පද්ධති ලබාදීම, නැගෙනහිර පළාතේ ඉඟිණියාගල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ පහසුකම් වර්ධනය කිරීමට අවශ්‍ය හෝමෝන සහ රසායනික ද්‍රව්‍ය සැපයීම, ධීවර සමිති සහ නියෝජිතයින් සඳහා Cage Culture පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ පළමු වගා වටය සඳහා අවශ්‍ය මත්ස්‍ය පැටවුන් සහ මත්ස්‍ය ආහාර (Feed) නොමිලේ ලබාදීම යනාදිය ප්‍රධාන ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර් අවධාරණය කර ඇත්තේ, මෙම ව්‍යාපෘතිය මෙරට මිරිදිය ධීවර කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් වනු ඇති බවය.

“අපේ රටේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය නවීන තාක්ෂණය ඔස්සේ ඉහළ නැංවීමට ලැබුණු මෙම සහාය පිළිබඳව මම ජපාන රජයට සහ FAO සංවිධානයට ස්තූතිවන්ත වෙනවා. සාගර ධීවර කර්මාන්තයට සාපේක්ෂව අඩු ඉන්ධන පිරිවැයක් යටතේ ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමටත්, අනාගතයේදී අපනයන අවස්ථා කරා යාමටත් මෙම නවීන කූඩු වගා ක්‍රමය (Cage Culture) අපට මනා පිටුවහලක් වෙනවා. මෙය නැගෙනහිර පළාතේ පමණක් නොව සමස්ත ලංකාවේම මිරිදිය ධීවර ක්ෂේත්‍රය නවීකරණය කිරීමට ලැබුණු විශාල අවස්ථාවක්,” යැයි ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ජපාන තානාපති අකියෝ ඉසොමාටා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ, සාගර ධීවර කර්මාන්තය ඉහළ ඉන්ධන පිරිවැයක් හමුවේ අභියෝගවලට ලක්ව ඇති මෙවන් අවස්ථාවක, මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ආහාර සුරක්ෂිතතාවයට අත්‍යවශ්‍ය වන බවය.

ජපානය සැමවිටම ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් නොසැලෙන මිතුරෙකු ලෙස පෙනී සිටින බවද තානාපති වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ කෝලිත කමල් ජිනදාස ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වි සිට ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්