“චීනය සමග අනවශ්‍ය ගැටුමක් අවශ්‍ය නෑ” ඇමරිකාව කියයි !

“චීනය සමග අනවශ්‍ය ගැටුමක් අවශ්‍ය නෑ” ඇමරිකාව කියයි !

ඇමරිකානු පෙන්ටගනයේ ප්‍රධානියා වන Pete Hegseth මැයි 30 වනදා සිංගප්පූරුවේදී පැවති ආසියා ෆැසිෆික් කලාපයේ ෂැංග්‍රි-ලා ආරක්ෂක සමුළුවේ දී චීන හමුදාව ආසියාව තුල අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතින බවට කල ප්‍රකාශය ලොව පුරා අවධානමකට ලක් වී ඇත. එහෙත් චීනය සමග අනවශ්‍ය ගැටුමක් අවශ්‍ය නොවන බව ට ද ඔහු විදේශ හමුදා විශේෂඥයින් සහ අමාත්‍යවරුන් පිරිසක් ඉදිරියේ කළ කතාවේදී තව දුරටත් අවධාරණය කළේය. එසේම මෙම හමුවේදී ඔහු යුරෝපා සංගමයට ද ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති මන්දගාමී බව තරයේ විවේචනය කරනු ලැබුවේය.

පසුගිය සති කීපය තුලදී ට්‍රම්ප් විසින් සිදු කල චීන සංචාරයෙන් පසු එක්සත් ජනපද ආරක්ෂක ලේකම් Pete Hegseth සිංගප්පූරුවේදී පැවති ආරක්ෂක ගැටළු සඳහා කැප වූ ප්‍රධාන සංසදයක් වන ෂැන්ග්‍රි-ලා හි දී ප්‍රකාශ කළේ, ආසියා ෆැසිෆික් කලාපය තුල චීනයේ හමුදා ගොඩනැගීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමට නීත්‍යානුකූල හේතුවක්” ඇති බවත්, එය දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවතින ප්‍රවණතාවක් බවත්ය.

“අද ආසියානු ෆැසිෆික් කලාපය දෙස බලන විට, චීනයේ හමුදා ගොඩනැගීමේ ඓතිහාසික පරිමාණය වේගවත් වී තිබෙනවා.  එමෙන්ම කලාපයේ සහ ඉන් ඔබ්බට එහි හමුදා ක්‍රියාකාරකම් ව්‍යාප්ත වීම පිළිබඳව අනතුරු ඇඟවීමට නීත්‍යානුකූල හේතුවක් ඇමරිකාව ලෙස අපට තිබෙනවා. චීනය පමණක් නොව ලොව කිසිදු රාජ්‍යයකට තම ආධිපත්‍යය ආසියාව තුල බලෙන් පැනවිය නොහැක. එහෙත් එක්සත් ජනපදයට මෙම කලාපයේ චීනය සමග අනවශ්‍ය ගැටුමක් අවශ්‍ය නොවේ. ඇමරිකාවට හා අපගේ මිත්‍ර රටවලට අවශ්‍ය ස්ථාවර, ගෞරවණිය බල සමතුලිතතාවයක් ” යයි Pete Hegseth තවදුරටත් පෙන්වා දුන්නේය.

යුරෝපය සහ නේටෝව සම්බන්ධයෙන් ද ආරක්ෂක ලේකම් වරයා පැවසුවේ ඔවුන් වැදගත් තීරණ ගත යුතු අතර, ඔවුන් ආරක්ෂාව සඳහා වියදම් වැඩි කර ගනිමින් ඇමරිකානු හමුදා නොමැති යුරෝපයක් සඳහා සුදානම් විය යුතු බවත් ය. ඉතා දිගු කලක් තිස්සේ, යුරෝපයට තමන්ගේම ආරක්ෂාව සඳහා වැඩි මුදලක් වැය කරන ලෙස ඇමරිකාව කරන ආචාරශීලී ඉල්ලීම් ඔවුන් නොසලකා හැර තිබේ යයිද ඔහු තම කනස්සල්ල පල කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ සාමාජික රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ක් ආරක්ෂක කටයුතු සඳහා වෙන් කරන ලෙස බල කර සිටි.

ආරක්ෂාව පිලිබඳ ෂැංග්‍රි-ලා සංවාදය ඉරිදා දක්වා දින තුනක් පුරා සිංගපුරුවේ දී ජ්‍යෙෂ්ඨ දේශපාලන හා හමුදා නිලධාරීන් මෙන්ම රටවල් 45 ක පමණ විශේෂඥයින් සහ පර්යේෂකයින් එක් කරමින් පැවැත් වේ. මෙම වාර්ෂික සංසදය සුඛෝපභෝගී ෂැංග්‍රි-ලා හෝටලයේ දී සම්බන්ධ වන අතර එහි දී දේශන, වට මේස සහ පෞද්ගලික රැස්වීම්, ද්විපාර්ශ්වික සම්බන්ධතා පැවැත්වේ. මෙම සමුළුව තුලදී ප්‍රතිවාදී රටවල් අතර පවා සාකච්ඡා සඳහා හිතකර පරිසරයක් සපයා තිබේ.

කෙසේවෙතත් වොෂින්ටනය තම ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සලකන චීනය, අඛණ්ඩව දෙවන වසරටත් තම ආරක්ෂක අමාත්‍ය ඩොං ජුන් යවා නොමැතිව එරට ආරක්ෂක අමාත්‍යංශයේ  හමුදා විශේෂඥයින් සහ පර්යේෂකයින් කණ්ඩායමක් පමණක් යවා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.

Pete Hegseth ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ෂැන්ග්‍රි-ලා සංවාදයේ චීන නියෝජිතයෙකු සහ සිංහුවා විශ්ව විද්‍යාලයේ (බීජිං) ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඩා AFP වෙත පවසා සිටියේ,

“රාජ්‍ය ලේකම් වරයා ගේ දේශණය මධ්‍යස්ථ එකක්. කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කළ ඇමරිකාව චීනයට ආධිපත්‍යවාදී අභිලාෂයන් ඇති බව ඇඟවීම උත්ප්‍රාසාත්මක බවක් දැනෙනවා. සමුළුවට සහභාගී වූ සෑම නියෝජිතයෙක්ම  ඇත්තටම සිතන්නට ඇති කවුද ඇත්තටම ආධිපත්‍යවාදී කියලා? ලෝකයේ ස්වෛරීභාවයට ගරු නොකරන රට කුමක්ද? එක්සත් ජනපදය ඉරානයේ කරන දේ, වෙනිසියුලාවේ ඔවුන් කළ දේ සමඟ, මාගේ පිළිතුර පැහැදිලි යැයි මම සිතමි,” යයි චීන නියෝජිතයා අවසාන වශයෙන් උපහාසාත්මකව අවධාරණය කළේය.

මේ අතර ෂැන්ග්‍රි-ලා සංවාදයේ ආරම්භක දේශනයේදී වියට්නාම ජනාධිපති ටෝ ලැම් පවසා සිටියේ මෙම සමුළුවේදී පැවැත්වෙන සාකච්ඡා වලදී යුධ ගැටුම් සඳහා වන අවදානම් අඩු කිරීම සඳහා කැප වූ සැබවින්ම ඵලදායී මෙවලම් බවට ඒවා පත් කරන ලෙසත්, හුදෙක් මහා බලවතුන්ගේ ස්ථාවරයන් නැවත තහවුරු කිරීම සඳහා යුධ සංසදයක් බවට සමුළුව පත් නොකරන ලෙසත් ඇමරිකාවෙන් හා චීනයෙන් නම් සඳහන් නොකර ඉල්ලා සිටියේය.

“ආසියා-ෆැසිෆික්  කලාපය තුළ සහ පිටත” බලවතුන්ගෙන් “වගකිවයුතු” ආකල්පයක් තුල සාමය සඳහා මැදිහත් වීමක් කරන්න. රාජ්‍යයන් අතර තරඟය ජාත්‍යන්තර සම්මුති හා නීතියෙන් පාලනය විය යුතුය, සෑම දෙනාම විනිවිදභාවයෙන් මෙහෙයවනු ලැබිය යුතු අතර සංයමයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. දකුණු චීන මුහුද සම්බන්ධයෙන් තම රටේ ස්ථාවරය “පැහැදිලි” සහ “ස්ථාවර” බව ද වියට්නාම ජනාධිපතිවරයා තවදුරටත් සමුළුව වෙත පවසා සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්