2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නිසි කාල සීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන ලෙස ජනාධිපති අනුර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එමෙන්ම එම ව්‍යාපෘතිවල කටයුතු එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපති අවධාරණය කර ඇත.
ජනාධිපති අනුර දිසානායක මේ බව සඳහන් කළේ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් තත්වය පිළිබඳ සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 10,200ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය සහ යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ සැලසුම්, වත්මන් තත්වය සහ අවසන් කිරීමට නියමිත කාල රාමු පිළිබඳ ජනාධිපති මෙහිදී සමීපව නිරීක්ෂණය කළේය.
එමෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ පෙර වසරවලදී වැඩ ආරම්භ කරන ලදුව, මෙතෙක් වැඩ අවසන් කර නොමැති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය ඇමති ටී.බී සරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු,
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත, මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජේ.කේ අරවින්ද ශ්‍රීනාත් ඇතුළු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.











