සුළි කුණාටුවට ගොදුරු වූ රට යළි ගොඩ නැංවීම සඳහා විශාල මුදලක් රජය වෙන් කර තිබෙන බැවින්, මේ වසරේ ආර්ථික වර්ධනය අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.
2026 වසර සඳහා ආර්ථික වර්ධනය 4%ත් 5%ත් අතර අගයක් ගනු ඇතැයි මුලින් පුරෝකථනය කර තිබුණද කුණාටුව හේතුවෙන් බිද වැටී ඇති යටිතල පහසුකම් යළි ගොඩ නැංවීම හේතුවෙන් ආර්ථිකයට නව ජීවයක් උදා වනු ඇති බව මහ බැංකු අධිපතිගේ අදහස වී තිබේ.
2026 වසර සඳහා වන අයවැය මගින් රජය, රාජ්‍ය ආයෝජන වෙනුවෙන් රුපියල් ට්‍රිලියන 1.4ක් වෙන්කර තිබුණු අතර පසුව, සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ බලපෑම ප්‍රතිසාධනය කිරීමට තවත් රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කළේය.
මෙම මුදල් ඉදිකිරීම් සහ යටිතල පහසුකම් වර්ධනය කිරීම උදෙසා යෙදවීමට නියමිත බැවින්, එය පෙරළා ආර්ථික වර්ධනය කෙරෙහි බලපානු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අදහස් කරයි.
කෙසේ වෙතත්, රුපියල් බිලියන 500ක අතිරේක මුදලක් ආර්ථිකයට එකතු වීම හේතුවෙන් උද්ධමන අනුපාතිකය අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යා හැකි බවද මහ බැංකු අධිපති වැඩිදුරටත් පවසයි.










