නව වසරේ, නව සැලසුම් සමඟ රට ආර්ථික ජයග්‍රහණය කරා ගෙන යමු – ජනපති

නව වසරේ, නව සැලසුම් සමඟ රට ආර්ථික ජයග්‍රහණය කරා ගෙන යමු – ජනපති

සැලසුම් ඔස්සේ එක්ව කටයුතු කරමින් 2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු යැයි ජනාධිපති අනුර දිසානායක ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියලුදෙනාට ආරාධනා කළේය.

ඒ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාවේදීය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම ආදායමක් වාර්තා කළ වසර බවට 2025 වසර පත්ව තිබෙන බවත්, ඒ අනුව, අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 2,115ක ඉලක්කය අභිබවා ගොස් තවත් රුපියල් බිලියන 300ක පමණ අතිරික්ත ආදායමක් සමඟ 2026 වසර ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් මෙම සාකච්ඡාවේදී රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.පී අරුක්ගොඩ සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2025 වසරේදී ළඟා කරගත් ප්‍රගතිය සහ 2026 වසරේ නව සැලසුම් පිළිබඳ සොයා බැලීමට අද පෙරවරුවේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපති එහි අධ්‍යක්ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ සමග සාකච්ඡාවක නිරත විය.

රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා දෙමින් රටේ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉටු කළ කාර්යභාරය මෙහිදී අගය කළ ජනාධිපති ඒ වෙනුවෙන් සමස්ත කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කර සිටියේය.

එමෙන්ම රටට ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනයක් වන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති නව සැලසුම් ඔස්සේ එක්ව කටයුතු කරමින් 2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු’යි සියලුදෙනාට ආරාධනා කළේය.

2022 වසරේදී සිදු වූ ආර්ථිකමය බිඳ වැටීමට ආණ්ඩුවට අවශ්‍ය රුපියල් ප්‍රමාණය නොලැබී යාම සහ රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නොමැති වීම හේතු වූ බව මෙහිදී පැවසූ ජනාධිපති, අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගනිමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට මේ වනවිට රජයට හැකි වී තිබෙන බවත් පසුගිය ආපදා තත්වට මුහුණ දීමේදීද එය ශක්තියක් වූ බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 2025 වසරේ කාර්යසාධනය සහ ප්‍රගතිය, 2026 වසරට අදාළ නව සැලසුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳ නව අදහස් සහ යෝජනාද ඉදිරිපත් කෙරිණි.

ආදයම් එකතු කිරීම, වෙළෙඳාම පහසු කිරීම, සමාජ ආරක්ෂණය සහ ආයතනික සංවර්ධනය යන අංශ 04 යටතේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන අතර, එම එක් එක් අංශයන්හි ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපති කරුණු විමසීය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව තුළ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා ස්ථාපිත කරන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයද සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙහිදී සඳහන් කෙරිණි.

රේගු කටයුතුවලදී බොහෝ අවස්ථාවන්හි එල්ලවන චෝදනා වන තදබදය සහ ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපති කරුණු විමසූ අතර, භාණ්ඩ පරීක්ෂා කිරීමේ පද්ධතිය නවීකරණය සඳහා වු වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, ශ්‍රී ලංකා රේගුව ඩිජිටල්කරණය වෙනුවෙන් 2026 වසරේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපති දැනුවත් කෙරුණු අතර, කාර්ය මණ්ඩලයේ බඳවා ගැනීම්, උසස් වීම්, පුහුණු වීම සහ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුද සාකච්ඡා කෙරුණි.

රට තුළ අස්ථාවත්වරයක් නිර්මාණය කිරීමේ උපක්‍රම සහ සැලසුම් දිගින් දිගටම ක්‍රියාත්මක වන බැවින් එවැනි අවස්ථා නිර්මාණය කිරිමට ඇති ඉඩ ඇහිරීමේදී ගුවන් තොටුපොළ ආශ්‍රිත සේවා ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඉදිරි අභියෝගයන්ට මුහුණ දිය හැකි අන්දමින් සහ රාජ්‍යයේ පැවැත්ම පිළිබඳ ඇති වගකීම හඳුනා ගනිමින් එහි කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

කම්කරු ඇමති සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.එන් හපුගල සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී අරුක්ගොඩ, අධ්‍යක්ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn