ඉන්දීය විදේශ ඇමති ජයශංකර් සහ අගමැතිනිය හරිනි අතර හමුවක්

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් සහ අගමැතිනිය හරිනි අතර හමුවක්

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යවසන තත්වයෙන් පසු රට නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වය සමඟ සාකච්ඡා පැවැත්වීම අරමුණු කර ගනිමින් මෙරට  සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ඊයේ (23) අරලියගහ මන්දිරයේදී, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙහිදී දුම්රිය මාර්ග, පාලම් නැවත ගොඩනැගීම සහ රටේ කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා සහාය වීම ඇතුළුව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ඇති සූදානම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා තහවුරු කළේය.

ශක්තිමත් පරිපාලන ක්‍රියාමාර්ගයන් සහ ආයතනික රාමු හරහා ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ඵලදායී පද්ධති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද ඔහු මෙහිදී අවධාරණය කළේය. ඉදිරියට ගෙන යන සහන කටයුතු මෙන්ම ආපදා තත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සහ රට යථා තත්වයට පත් කිරීම සඳහා දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී සහන මෙහෙයුම්වලට අමතරව නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම වැනි දිගුකාලීන පියවර ඇතුළත් බව සඳහන් කළ අගමැති ඉන්දීය රජය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඇගයීමට ලක් කළා ය.

රට යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ අදියරක් ලෙස සමීප අධීක්ෂණයක් ඇතිව පාසල් නැවත විවෘත කිරීමට පියවර ගෙන ඇති බව අගමැති තවදුරටත් ප්‍රකාශ කළාය. මෙම හදිසි ආපදා තත්වය හමුවේ ජනතාව ලබා දුන් ස්වේච්ඡා සහභාගිත්වය සහ සාමූහික ක්‍රියාමාර්ග පිළිබඳ සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය ස්ථාවරත්වය සහතික කිරීම, අවදානම අඩු කිරීම සහ ආරක්ෂක යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද අවධාරණය කළාය.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (IOR) Puneet Agrawal, ඒකාබද්ධ ලේකම් (EAMO) Sandeep Kumar Bayyapu, නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය Satyanjal Pandey සහ ශ්‍රී ලංකා දූත පිරිස නියෝජනය කරමින් අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (දකුණු ආසියාව) සමන්ත පතිරණ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩයනා පෙරේරා සහභාගී වූහ.

Facebook
Twitter
LinkedIn