සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවත්, ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදීද චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සුදානම් බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng පැවසීය.
චීන දූත පිරිසක් සමඟ මෙරට සංචාරයක නිරත Wang Junzheng අද (23) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
ආපදාව හමුවේ චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් හදිසි සහ මානුෂීය ආධාර පිළිබඳව මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපති මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අතනොහැර යළි ගොඩනැඟීම වෙනුවෙන් ලබා දෙන අඛණ්ඩ සහාය ඇගයීමට ලක් කළේය. එමඟින් දෙරට අතර දිගුකාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද ජනාධිපති පෙන්වා දුන්නේය.
ජන ජීවිතය යථා තත්වයට ගෙන ඒම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් ආරම්භ කර ඇති ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති මෙහිදී වැඩිදුරටත් චීන නියෝජිත පිරිස දැනුවත් කළේය.
ජනාධිපති අනුර දිසානායකගේ පසුගිය චීන නිල සංචාරයේදී දෙරටේ ජනාධිපතිවරු අතර ඇති කරගත් අවබෝධතාව සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සහයෝගීතාවෙන් කටයුතු කරන බව පැවසූ Wang Junzheng චීන රජයේ සහාය ඇතිව දැනට ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සහාය ලබා දෙන බව සඳහන් කළේය.
එමෙන්ම, රජයේ ප්රමුඛ වැඩසටහන් වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සහ අල්ලස හා දූෂණය පිටුදැකීමේ වැඩසටහනට සහාය ලබා දෙන බවත්, විශේෂයෙන් ග්‍රාමීය දිළිඳු බව පිටුදැකීමේදී චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් Peng Xiubin,
Xizang කලාපයේ රාජ්‍ය විදේශ කටයුතු කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් Bao Ting, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ Wang Siqi සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.












