විදේශ ඇමති ජයසංකර් සහ ජනපති අනුර අතර හමුවක්

විදේශ ඇමති ජයසංකර් සහ ජනපති අනුර අතර හමුවක්

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් සහ ජනාධිපති අනුර දිසානායක අතර හමුව අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා හදුනාගෙන නැවත ගොඩනැඟීමේ හදිසි අවශ්‍යතාව මත තවදුරටත් සහාය ලබා දීමට ඉන්දියාව කැප වී සිටින බවත්, ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් එහිදී ප්‍රකාශ කළේය. එයින් ඩොලර් මිලියන 100ක් ඉන්දීය ආධාර වන අතර ඉතිරිය පහසු පොලී අනුපාතිකයක් මත ලබා දෙන ණය මුදලක් වනු ඇත.

ජනාධිපති අනුර දිසානායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් යථා තත්වයට පත්වනු ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ ඉන්දීය රජය විශ්වාස කරන බව පැවසූ ඉන්දීය විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ ඉන්දියාව අන් කවරදාටත් වඩා ශක්තිමත්ව අත්වැල් බැඳගෙන සිටින බවද ප්‍රකාශ කළේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී විසින් ජනාධිපති අනුර දිසානායක වෙත යොමු කරන ලද විශේෂ ලිපියද මෙහිදී ඉන්දීය විදේශ කටයුතු ඇමති විසින් ජනාධිපති වෙත භාර දුන්නේය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පළමුවෙන්ම එක්වෙමින් ජනතාව මුදා ගැනීමේ, සහන සැලසීමේ සහ  ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉන්දීය අගමැති ප්‍රමුඛ රජය දැක් වූ හෘදයාංගම සහයෝගය මෙහිදී ජනාධිපති අනුර දිසානායක කෘතවේදීව අගය කළේය.

ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සහ ඖෂධ, අහාර ඇතුළු මානූෂිය ආධාර සපයමින්ද, විනාශ වූ මාර්ග ප්‍රතිසංස්කරණය, මහිංයගණය රෝහල ඇතුළු රෝහල් පද්ධතිය යථාවත් කිරීම ආදී යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන්ද ඉන්දීය රජය දැක් වූ සුවිශේෂී සහාය ජනාධිපති කෘතවේදීව සිහිපත් කළේය.

එමෙන්ම අසීරු සෑම අවස්ථාවකම ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය සිහිපත් කළ ජනාධිපති,  ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාන්විතය වෙනුවෙන් දිගු කළ සහෝදරත්වයේ හස්තය ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බව සඳහන් කළේය.

මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව සමග ශක්තිමත්ව රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට යළි ගොඩනැඟීම සඳහා ලබා දිය හැකි සියලු සහාය ලබා දීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමා වෙත උපදෙස් ලබා දුන් බවත්, එම කටයුතු පිළිබඳ සොයා බැලීමට ඉන්දීය අගමැතිගේ විශේෂ නියෝජිතයෙකු ලෙස තමා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වූ බවත් ඉන්දීය විදේශ ඇමති පැවසීය.

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය විදේශ ඇමති අතර නිල හමුවෙන් අනතුරුව දෙරටේ දූත පිරිස අතර සාකච්ඡා ආරම්භ කෙරුණු අතර දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීමට අඛණ්ඩ සහාය ලබා දෙන බව ඉන්දීය විදේශ ඇමති සඳහන් කළේය.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහන පැකේජය සංකේතවත් කරමින් කිලිනොච්චිය ඒ-35 මාර්ගයේ බේලි පාලම විවෘත කිරීමද මෙහිදී ජනාධිපති අනුර දිසානායකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා – ඉන්දීය විදේශ ඇමතිවරුන්ගේ අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.

ජනාධිපති සහ ඉන්දීය විදේශ කටයුතු ඇමති අතර පැවති සාකච්ඡාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්, කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහභාගී වී සිටි අතර,

ඉන් අනතුරුව පැවති දූත මට්ටමේ සාකච්ඡාව සඳහා ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පුනිත් අග්‍රවාල්, නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් සත්‍යංජල් පාණ්ඩේ සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn