වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජන සුරක්ෂිතයි – ජනපති ඇමරිකානු ව්‍යාපාරික නියෝජිතයන් හමුවේ අවධාරණය කරයි

වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජන සුරක්ෂිතයි – ජනපති ඇමරිකානු ව්‍යාපාරික නියෝජිතයන් හමුවේ අවධාරණය කරයි

වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සහ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කර ඇති බව ජනාධිපති අනුර දිසානායක අවධාරණය කළේය.

මෙරට ආයෝජන සඳහා ඇති අවස්ථා, ව්‍යාපාරික පරිසරය සහ නීතිමය තත්ත්ව පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමරිකානු ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක් සමඟ ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපති මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මේ වනවිට ආයෝජන සඳහා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර ඇති බවත්, ආයෝජන සම්බන්ධයෙන් පසුගිය රජයයන් යටතේ පැවැති අක්‍රමවත්භාවය වෙනස් කරමින්, වර්තමාන රජය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ, නව නීති සකස් කරමින් සිටින බවත් ජනපති මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණක් වන බවත්, ඒ වෙනුවෙන් ආ‍යෝජන ආරක්ෂාව තහවුරු කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ පහසුකම් සැපයීම රජය විසින් සිදු කරනු ලබන බවත්, ආයෝජන ආරක්ෂණ පනත ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති අවධාරණය කළේය.

මෙරට ආයෝජන පරිසරය ශක්තිමත් කිරීම සඳහා ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කර ජාතික සමගිය ගොඩනැඟීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පාරදෘශ්‍ය අයුරින් පවත්වා ගැනීම සහ ඩිජිටල්කරණය මගින් තාක්ෂණික බාධාවන් ජය ගැනීම යනාදී අරමුණු ළඟා කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර දිසානායක ඇමරිකානු නියෝජිත පිරිස හමුවේ වැඩිදුරටත් පැවසීය.

Crow Holdings සභාපති හාර්ලන් ක්‍රෝ (Harlan Crow), ඇමරිකා එක්සත් ජනපද-ඉන්දියානු සබඳතා සහ M&A ව්‍යාපාර ප්‍රධානී ක්‍රිෂ්ණා බාලම් (Krishna Balam), Hudson Institute සභාපති සාරා ස්ටර්න් (Sarah Stern), Eagle Capital Management නිර්මාතෘ සහ සම-ප්‍රධාන ආයෝජන නිලධාරී රැවෙනල් බී.කරි (Ravenel B. Curry), Billingsley සමාගමෙහි සම නිර්මාතෘ ලුසී බෙලින්ග්ස්ලි (Lucy Bellingsly), SMU Trustee හි ප්‍රජා නායක (Katherine Crow) සහ Hudson Institute සාමාජික වෝල්ටර් රසල් මෙඩ් (Walter Russell Mead) මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙම අවස්ථාව සඳහා කම්කරු ඇමති සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සුද සහභාගි වූහ.

Facebook
Twitter
LinkedIn