ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් නව ඉන්ධන පිරවුම්හල් 75ක් දිවයින පුරා හඳුනාගත් ස්ථානවල ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් විද්යාත්මක අධ්යයනයක් මොරටුව විශ්වවිද්යාලය සමඟ සිදුකර ඇති අතර, ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත විය යුතු වඩාත් සුදුසු ස්ථාන 70ක් එම අධ්යයනයෙන් හඳුනාගැනීමටද කටයුතු කර තිබේ.
පෞද්ගලික ඛනිජ තෙල් සමාගම් විසින් තෙල් බෙදාහැරීම සීමා කිරීම නිසා රට පුරා ප්රදේශ රැසක දිගු පෝලිම් හා පිරවුම්හල් වසා දැමීමේ සිද්ධීන් වාර්තා වීමත් සමඟ මෙම වැඩපිළිවෙළ කඩිනම් කිරීම කෙරෙහි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවධානය යොමුව ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්යයට අදහස් දක්වමින් වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති ඇමති අනුර කරුණාතිලක ප්රකාශ කළේ, අර්බුදකාරී අවස්ථාවලදී ඉන්ධන පාරිභෝගිකයන් මුහුණදෙන ගැටලු අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි. පවත්නා පාඩුව දරාගැනීමට අපහසු බව පවසමින් පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන් වෙළෙඳපොළට ඉන්ධන සැපයීම යම් ප්රමාණයකට සීමා කිරීමට කටයුතු කර තිබුණි. එමඟින් පාරිභෝගිකයන්ට සිදුවන බලපෑම අවම කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් මීට පෙර පැවති 55%ක් වූ වෙළෙඳපොළ සැපයුම් ප්රමාණය 80% දක්වා නැංවීමට කටයුතු කර ඇත. අර්බුදකාරී කාලසීමාව සමනය වූ පසු සාධාරණ ලාභයක් සහිතව වෙළෙඳ කටයුතු කරගෙන යෑමට අවස්ථාව ලැබෙන බැවින්, එතෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඇමති අනුර කරුණාතිලක පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.
මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1,440ක් ක්රියාත්මක වන අතර එයින් පිරවුම්හල් 887ක, එනම් 61%ක පමණ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (Ceypetco) විසිනි. ඉතිරි ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික සමාගම් පාලනය කරන අතර, ඒ අතරින් ලංකා IOC (Lanka IOC) සමාගම පිරවුම්හල් 273ක්ද, සිනොපෙක් එනර්ජි ලංකා (Sinopec Energy Lanka) සමාගම පිරවුම්හල් 150ක් ද, සහ ආර්.එම්. පාර්ක්ස් (RM Parks) සමාගම පිරවුම්හල් 130ක් ද පාලනය කරයි. රට තුළ ඩීසල් බෙදාහැරීම සහ සැපයීමෙන් 80%කට වඩා වැඩි ප්රමාණයක් හසුරවනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසිනි.
මිල නැංවීම් හේතුවෙන් උද්ගත වී ඇති වත්මන් අර්බුදය මඟහරවා ගැනීම සඳහා, ගිවිසුම්වල රාමුව තුළ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත යටතේ අමාත්යාංශයට පැවරී ඇති බලතල මත නීතිමය උපදෙස් ලබාගැනීමටද රජය තීරණය කර තිබේ.
ඇතැම් ප්රදේශවල පවතින තනි ඉන්ධන පිරවුම්හල් මෙහෙයුම් හේතුවෙන් මතුවන ගැටලුවලට විසඳුම් ලෙස නව ඉන්ධන පිරවුම්හල් ජාලයක් ආරම්භ කිරීම ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බවද මේ වනවිට අනාවරණය කර ඇත.







