ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර දිසානායක වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් ටෝකියෝහි ඉම්පීරියල් හෝටලයේදී ඊයේ (30) පැවැත්විණි.
ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය විසින් මෙම උදෑසන භෝජන සංග්‍රහය සංවිධානය කරනු ලැබ තිබිණි.
දෙරටේ පාර්ලිමේන්තුවල සාමාජිකයන් අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සභාපති යොෂිතාකා ෂින්ඩෝ (Yoshitaka Shindo) සහ මහලේකම් යුකෝ ඔබුචි (Yuko Obuchi) මෙහිදී ප්‍රකාශ කළහ.
දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය කෙයිසෝ ඔබුචි (Keizo Obuchi) මහතාගේ මූලිකත්වයෙන් 1982 වසරේ දී ස්ථාපිත කරන ලද්දකි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ සහ ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.















