අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් 01 යළි කැඳවීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, නඩු විභාගය සඳහා අවශ්‍ය බවට විත්ති පාර්ශ්වය විසින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් විත්ති පාර්ශ්වයට විවෘත අධිකරණය හමුවේ භාර දී ඇති බව සඳහන් වේ.
තවත් අවශ්‍ය ලේඛන වේ නම්, ඒ සම්බන්ධව සති 02ක් ඇතුළත අධිකරණයට දන්වා සිටින ලෙසට විනිසුරු ලංකා ජයරත්න විසින් විත්ති පාර්ශ්වයට නියම කර ඇති අතර, නඩුව යළිත් ඔක්තෝබර් 01 වැනිදා කැඳවීමට දින නියම කර ඇත.
පසුගිය 2020 අගෝස්තු 13 සිට 2024 ජූනි 24 දක්වා කාලය තුළ ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යාංශවල කටයුතු කරමින්, අයථා ලෙස වත්කම් උපයා ගැනීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයට යටත් වන වරදක් සිදුකර ඇති බවට අදාළ චෝදනා පත්‍රය මඟින් විත්තිකරුවන්ට චෝදනා කර තිබේ.









