නීතිමය අවකාශය තුළ නඩු පැවරීමේ සුජාතභාවය කිසිවෙකුටත් ප්‍රශ්න කළ නොහැකියි – නීතිඥ අකලංක උක්වත්ත

නීතිමය අවකාශය තුළ නඩු පැවරීමේ සුජාතභාවය කිසිවෙකුටත් ප්‍රශ්න කළ නොහැකියි – නීතිඥ අකලංක උක්වත්ත

නීතිමය අවකාශය තුළ නඩු පැවරීමේ සුජාතභාවය කිසිවෙකුටත් ප්‍රශ්න කළ නොහැකි යැයි නීතිඥ අකලංක උක්වත්ත සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලේ අද (24) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ අකලංක උක්වත්ත,

“අද විපක්ෂයේ මාධ්‍ය හමුවට එකතු වී සිටි හිටපු පාලකයන් පසුගිය අවුරුදු 76ක කාලය තුළ ජනතාව වෙනුවෙන් එකතු වී ක්‍රියා කළේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නීති විශාරදයෙක් වගේම නීති පීඨයේ මහාචාර්යවරයෙක් වන ජී.එල්. පීරිස් මහතා නීතියේ ආධිපත්‍යය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ගයක් පිළිබඳව එළියේ සමාජයේ පිරිසක් ඒකරාශී කිරීමට මූලික වී සිටියා. ඔවුන් සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් සිදුවන බවයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ 41වැනි ජනාධිපති රොනල්ඩ් රේගන් එක අවස්ථාවක සඳහන් කර තිබෙන්නේ, “සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුළත් වන්නේ කුමක්දැයි අපි දනිමු. එම අර්ථයේ ඵලය අපි අවබෝධ කර ගනිමු. එනම් පාලකයන්ටත් ජනතාවටත් නීතිය එකසේ අදාළය.” යනුවෙනුයි. අද එකතු වුණු කට්ටිය මේ කරුණු ඔක්කොම දන්නවා. දැනගෙන තමයි ජනතාව ඉදිරියේ ඒ බව හංගාගෙන කතා කරන්නේ. ගිය සිකුරාදා අධිකරණය තුළ නීතිමය කරුණු නිසි ආකාරයෙන් අවධානයට ලක්කළ ගරු විනිශ්චයකාරතුමිය ඒ අවස්ථාවේදී විත්තිය සඳහන් කළ සුවිශේෂී කාරණා අදාළ සැකකරුට ඇපදීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් නොවෙන බව සලකා 26දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ වගේම විපක්ෂයේ ප්‍රකාශකයන් උද්දීපනය කරන්න උත්සාහ කරන්නේ මෙම කටයුත්ත නිසි විමර්ශනයක් සිදු නොවුණු පොදු දේපළක් භාවිත නොවුණු කරුණක් බවයි.

නමුත් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාව තුළ සාක්ෂිකරුවන් 32දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන, ඒවා ඒ උදෘත වගේම අදාළ ලේඛන ඇමුණුම් හැටියට සංවිධිතව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තා පදනම් කරගෙන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමා විසින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මේක දේශපාලන පළිගැනීමක් බව කියන්නත් පිරිසක් උත්සාහ කරනවා. ෆොන්සේකා මහත්තයා කුදලාගෙන ගිහින් පස්සේ පරීක්ෂණ පැවැත්වූවා වගේ ක්‍රියාදාමයක් නොවෙයි මේක. විධිමත් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් සකස් කර, අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. විදේශ අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අවශ්‍ය ලේඛන ලබාගෙන හෙළිදරව් කරගෙන ඇති පරිදි සහ සාක්ෂිකරුවන් ලබාදුන් ප්‍රකාශ අනුව එංගලන්ත සංචාරය කිසිසේත්ම නිල කටයුත්තක් නොවෙයි. මේ සංචාරය වෙනුවෙන් පවුම් 44,000කට වැඩි මුදලක් වියදම් කර තිබෙනවා. මේ මුදල සංසන්දනාත්මකව තේරුම් ගැනීම වැදගත්. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මාසික වැටුප පවුම් 14,000යි. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ වැටුප මසකට ඇමෙරිකානු ඩොලර් 33,000යි. ලංකාවේ ජනාධිපතිවරයාගේ දීමනා හැර මාසික වැටුප රුපියල් 97,500යි. ලංකාවේ ජනාධිපතිවරයෙක් වාර දෙකක් ධුරය දැරුවත් අවුරුදු දහයකදී ලබන්නේ රුපියල් එක්කෝටි දාහත්ලක්ෂයකට ආසන්න මුදලක්. ඒ අනුව බැලුවාම දවස් දෙකක මේ සංචාරය සඳහා වියදම ඊටත් වැඩිය විශාලයි.

අපරාධමය නඩුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙයයි. මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරියට ‘වොටර්ස් ඒජ්’ නඩුව මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවරා තිබුණා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට දින 52 කුමන්ත්‍රණ නඩුව, පාස්කු දා ප්‍රහාරය පිළිබඳ නඩුව ඇතුළු මූලික අයිතිවාසිකම් නඩු පවරා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂට ආර්ථිකය බංකොලොත් කිරීම පිළිබඳව මූලික අයිතිවාසිකම් නඩු පවරා තිබුණා. අපරාධමය නඩුවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයෙකු අධිකරණයට ඉදිරියට පැමිණ වූ පළමු අවස්ථාව මෙයයි. නීතිමය අවකාශය තුළ මෙම නඩුව පැවරීම සම්බන්ධයෙන් පවතින සුජාතභාවය කිසිවෙකුටත් ප්‍රශ්න කරන්න බැහැ. අධිකරණයෙන් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හැර එයින් පිටත සිදුකරන සියලුම ප්‍රකාශයන් අධිකරණයට අපහාස කිරීමක් දක්වා ඉදිරියට යන්න පුළුවන්. එය මහජන කැළඹීමක් දක්වා වර්ධනය කළහොත් තත්වය තවත් බරපතළ වෙනවා. නීතිපතිතුමා මෙහිදී මැදිහත් වන්නේ දණ්ඩ නීති සංග්‍රහය හෝ වෙන ඕනෑම නීතිමය ප්‍රතිපාදනයක් මත මේ රටේ ජනතාව වෙනුවෙන්. නීතිය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන බව පේන්නේ දැන් තමයි. පොදු දේපළ පනත 1982 සිට මේ රටේ සිවිල් ජනතාවට විරුද්ධව දිගින් දිගටම යොදා ගත් හැටි අපි දැක්කා. ඒ නිසා අපි ජනතාවට අවධාරණය කරන්නේ සමස්ත සමාජයම වෙනස් කිරීමේදී තමනුත් වෙනස් විය යුතු බවයි. මේ දක්වා නීතිය උඩම ස්ථරයට ක්‍රියාත්මක නොවී පහළ ස්ථරයට පමණක් ක්‍රියාත්මක වුණා. ඒ තත්වය වෙනස් වී ඇති බව සුබවාදීව තේරුම් ගෙන වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා, නීතිය ක්‍රියාත්මක කෙරෙන බවට අවධාරණය කර ගැනීම වැදගත්. පසුගිය ජාතික මැතිවරණ දෙකේදී ජනතාව බලය ලබාදී තිබෙන්නේ රට සියලුම අංශවලින් ප්‍රගතිය කරා ගෙනයන්නයි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්