අතිකාල හා ඇඟිලි සලකුණු පිළිගෙන සාකච්ඡාවට එන්න – ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

අතිකාල හා ඇඟිලි සලකුණු පිළිගෙන සාකච්ඡාවට එන්න – ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

තැපැල් වෘත්තීය සමිතිවලට ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය නම්, සාකච්ඡා කළ හැක්කේ, අතිකාල හා ඇඟිලි සලකුණු පිළිගෙන ආවොත් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව පැවසූවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී තැපැල් සේවක වෘත්තීය සමිති කිහිපයක ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අතිකාල මදි නම්, වෙනත් රස්සාවකට යාහැකි බවත් ඇඟිලි සලකුණුවලට එකඟ නොවන්නේ නම්, ඇඟිලි සලකුණු නැති තැනකට යා හැකි බවත් ඔහු කියා සිටියේය.

ඊට එකඟ වන සේවකයන් ඉතිරි වන බව පැවසූ ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යට නොවීමේ දැඩි තීන්දුවක රජය ඉන්නා බවද පැවසීය.
නිවාඩු අවලංගු කරලා තිබෙන්නේ. නිවාඩු අවලංගු කළාට පස්සෙදී වැටුප් සම්බන්ධව ඊළග තීන්දුව ගන්නා බවද ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස,

“තැපැල් දෙපාර්තමේන්තුව තාම පාඩුයි. තැපැල් දෙපාර්තමේන්තුවේ වැටුප් සහ අතිකාල දීමනා ගෙවන්නවත් සමහර වසරවල ප්‍රමාණවත් ආදායම් නැහැ. එහෙම තිබියදී අසාධාරණ ඉල්ලීම් එක්ක යන්න බැහැ.

ඉල්ලීම් 19ක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් තැපැල්පතිවරයා එක්ක වගේම අමාත්‍යාංශ ලේකම්වරයා එක්කත් සාකච්ඡා කරලා තිබුණා.

ඔවුන්ට ඒ සාකච්ඡාවලින් එම ප්‍රශ්නය විසඳා ගැනීමේ ඒ තරම් වුවමනාවක් නැහැ. එම ඉල්ලීම් 19න් 17ක්ම මේ වන විටත් විසඳලා සහ විසඳමින් තිබෙන්නේ. තැපෑලට මීට කලින් නොතිබුණ මැදිහත් වීමක් මූල්‍ය හා තාක්ෂණ පැත්තෙන් කරමින් තිබෙනවා. සේවකයෝ මදි, වාහන මදි කියන සටන් පාඨ කවදත් ගන්න පුළුවන්. ඒවා විසඳලා ඉවර කරගන්න පුළුවන් දේවල් නෙවෙයි.

ඉල්ලීම් දෙකක් ඉතිරිව තිබෙනවා. එකක් අතිකාල දීමනා සම්බන්ධ ප්‍රශ්නය. සමස්ත රජයේ සේවකයන්ට 2025 අප්‍රේල් මස සිට මූලික වැටුප් වැඩි කිරීමක් කළා. මූලික වැටුප් වැඩි කිරීමේ පළමු කොටස අප්‍රේල් මාසයේ සිට ලැබෙනවා. ඊළඟ කොටස එළැඹෙන ජනවාරි සිට ලැබෙනවා. ඊළඟ කොටස 2027 ජනවාරි සිට ලැබෙනවා.

ලොකු මූලික වැටුප් වැඩි වීමක්. කිසිදු කෙනකුට අසාධාරණයක් වුණා කියලා කියන්න බැහැ. කවුරුත් ඉල්ලන්නේ නැතුව හොඳ මූලික වැටුප් වැඩි වීමක් රජය ලබා දුන්නා. ඒ මූලික වැටුප් වැඩි වීමට පදනම්ව අතිකාල ගණනය කරනවා. අප්‍රේල් මාසයේ වැඩි වුණු මූලික වැටුප් වැඩි වීමේ කොටස නෙවෙයි.

ලබන ජනවාරි මස ලැබෙන දෙවැනි කොටස මත පද­නම් වෙලා නෙවෙයි 2027 ජන­වාරි මාසයේ අතට ලැබීමට නියමිත සම්පූර්ණ මූලික වැටුපට අදාළව තමයි අප්‍රේල් මස ඉඳන් අතිකාල හැදෙන්නේ. සමහර සේවාවල තිබෙනවා එම අතිකාල දීමනා කළාම එය දෙන්න ගියොත් භාණ්ඩාගාරයට දරාගන්න බැහැ.

සමහරුන්ට හතරෙන් තුනක් සහ සමහරුන්ට හයෙන් පහක් ලබා දෙනවා. 23,000ක් පමණ තැපැල් සේවකයන් ඉන්නවා. එම තැපැල් සේවකයන්ට 2027 ජනවාරි මස සිට අතට ලැබීමට නියමිත මූලික වැටුප මත පදනම්ව අතිකාල සකස් කරලා එයින් හයෙන් පහක් ලබා දෙනවා. මේ අවුරුද්දේ මාර්තු මාසේ ගත්ත අතිකාලවලට වඩා වැඩි මුදලක් ඔවුන්ට අප්‍රේල් මස සිට ලැබෙනවා. මේක මදි කිවුවට රජයේ සේවයේදී අපි ගත්ත පොදු ප්‍රතිපත්තියක්. මේක වෙනස් කරන්න බැහැ. එම නිසා අතිකාල ගැන කතා කරන එක පලක් නැහැ. අතිකාලත් වැඩි කරලා තියෙද්දිත්, මූලික වැටුපත් වැඩි කරලා තියෙද්දිත්, කවුරු හරි කියනවා නම්, තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කරන කොට තමන් ආව බව සහ පිට වී ගිය බවට ඇඟිලි සලකුණ තියන්න බැහැ කියලා ඒකට ඉඩ දෙන්න බැහැ.

දැනටමත් තැපැල් දෙපාර්තමේන්තුවට ඇති පාලන කාර්යාලවල ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මධ්‍යම තැපැල් හුවමාරුවේ සිටින ඉතාම සීමිත පිරිසක් තමයි ඇඟිලි සලකුණු තියන්න බැහැ කියන්නේ. ඒකට ඉඩ දෙන්න බැහැ. මොකද රටේ භාණ්ඩාගාරයේ මුදල්වලින් වැටුප් වැඩි කරලා, අතිකාල වැඩි කරලා තියෙද්දි කවුරු හරි කියනව නම් ඇඟිලි සලකුණු තියන්න බැහැ කියලා ඒකට ඉඩ දෙන්න බැහැ. මේ ඉල්ලීම් දෙක පමණයි ඉතිරි වෙලා තිබෙන්නේ. අතිකාල වැඩි කරන්නත් බැහැ. ඇඟිලි සලකුණු ඉවත් කරන්නත් බැහැ. මෙය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒකත් එක්ක යන්න පුළුවන් තැපැල් සේවකයෝ ඉතිරි වේවි. අතිකාල මදි නම්, වෙනත් රස්සාවකට යන්න පුළුවන්. ඇඟිලි සලකුණුවලට එකඟ වෙන්න බැරි නම්, ඇඟිලි සලකුණු නැති තැනකට යන්න පුළුවන්. රජය හැටියට දැඩි තීන්දුවක ඉන්නවා. මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යට වෙන්නේ නැහැ. මේක පිටිපස්සේ දේශපාලන පක්ෂ ඉන්නවා. වෘත්තීය සමිතිවල නම් ලැයිස්තුව බලන්න කවුරු කවුරුන්ද ඉන්නේ කියලා. මේක ඉවර කරගන්න ඕනෑ. හදන්න ඕනෑ.

අපි ආණ්ඩුව විදිහට සාකච්ඡා කරන්න අවශ්‍ය නම්, සාකච්ඡා කළ හැකි වන්නේ අති­කාල සහ ඇඟිලි සලකුණු පිළිඅරගෙන ආවොත් විතරයි.

නිවාඩු අවලංගු කරලා තිබෙන්නේ. නිවාඩු අවලංගු කළාට පස්සේ වැටුප් සම්බන්ධව අපි ඊළග තීන්දුව ගන්නවා. බහුතරයක් සේවකයන් මේ ඉල්ලීම් දෙකට එකඟ නැති බව මම දන්නවා. හැබැයි යම් බලපෑම් කරන කණ්ඩායමක් මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ පාඩු කරමින් ඉන්නවා. පෙරේදා වෙන කොට උප තැපැල් කාර්යාල 90%ක් විවෘත වෙලා තිබුණා.

ප්‍රධාන තැපැල් කාර්යාලත් යම් මට්ටමකට විවෘත වෙලා තිබුණා. මධ්‍යම තැපැල් හුවමාරුවේ තමයි යම් අඩාළ වීමක් වෙලා තිබෙන්නේ. අපි ඒකත් ක්‍රමානුකූලව කරගෙන යන්නම්.” යැයි පැවසීය.

Facebook
Twitter
LinkedIn