බන්ධනාගාරගත රැඳවුවන්ගේ කුසලතා හා හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් පවත්වන “සිරසර ශිල්ප 2025’’ කුසලතා ප්‍රදර්ශනය අද (15) සිට ආරම්භ වේ.
ඒ අනුව මෙම ප්‍රදර්ශනය අද සිට ලබන 17 වැනිදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙරට බන්ධනාගාර 28ක රැඳවුවන්ගේ කලාත්මක කුසලතා නිර්මාණ මෙහිදී සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ හැකියාව මෙහිදී පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.
බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය වන කාලසීමාව තුළදී ඔවුන් සතුව පවතින දක්ෂතාවයන් අනුව කෘෂි අංශය, කොසු ඉදල් අංශය, වඩු අංශය, කම්මල් අංශය, සබන් අංශය, බේකරි අංශය, බ්ලොක් ගල් අංශය, විවින් අංශය, මැහුම් අංශය සහ පාවහන් අංශය ඇතුළු විවිධ අංශ සදහා යොමු කරන අතර, එහිදී ඔවුන් සකස් කරනු ලබන භාණ්ඩ සහ නිර්මාණ මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇති බව වැඩිදුරටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.
මෙහිදී ඉරටු ඉදල්, අඩ සඳ පාපිසි, ලෑලි පාපිසි, දුවිලි පිස්නා, කොහු, බිත්ති සැරසිලි, කොසු මුස්නා ඇතුළු තවත් නිෂ්පාදන රැසක් මිලදී ගැනීමේ හැකියාව ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

















