ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගෙනගිය ඒකාධිපති වියරු පාලනය තුළදීම එවකට නැවත ගොඩනැගෙමින් තිබූ ශිෂ්‍ය ව්‍යාපාරය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විරු සිසු අනුස්මරණ උළෙලක් ප්‍රථම වරට 1992 ජූලි 15 දින සිට 17 වෙනි දක්වා පැවැත්වීය.
මෙම සමරු උළෙල පැවැත්වූයේ ප්‍රා, ස්‍රා, මාපිල්ලු, කොලකොටි ආදී වශයෙන් වූ ඝාතක කල්ලිවල ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම අවසන් කර නැති පසුබිමකදීය. එමෙන්ම ප්‍රේමදාස පාලනය තුළ ඩග්ලස් පීරිස්, ලකී අල්ගම, ප්‍රේමදාස උඩුගම්පල වැනි ආරක්ෂක අංශ නිලධාරීන්ගේ වියරු ක්‍රියාකාරිත්වයද පැවති සමයකදී වීම විශේෂත්වයකි. එම මර්ධනය මුදාහල ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න පමණක් 1992 වනවිට නොසිටියේය.
ජූලි මාසය ප්‍රකට වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භීෂණ යුගය ආරම්භ කළ සන්ධිස්ථාන ලෙසය. එවැනි ජූලි මාසයකදීම රාජ්‍ය මර්දනය හමුවේ ඝාතනය කළ විරු සිසුන් අනුස්මරණය කරමින් නව දේශපාලන ප්‍රවේශයකට එළඹී තිබීම ඓතිහාසික වැදගත්කමකින් යුක්තය. මෙම විරු සිසු අනුස්මරණය මුළින්ම පැවැත්වීමට සැලසුම් කර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වුවත් එය පැවැත්විය නොහැකි ලෙස රාජ්‍ය මර්දනය මුදාහැර තිබිණි.
ඉන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තෝරාගත් අතර රාජ්‍ය මර්ධනය නොතකා දසදහස් සංඛ්‍යාත මහජන පෙලගැස්මක් මගින් විරු සිසු අනුස්මරණ ප්‍රදර්ශනයක් සහ විරු සිසු ගී සරණියක් පවත්වනු ලැබීය.










