අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි, කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් අද (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන ඉදිරි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් දීර්ඝ කාලීනව සාධාරණ මිලකට ලබා ගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇතිකර ගැනීම මෙන්ම මෙරට තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ ඒ මඟින් කලාපීය පිරිපහදු ඛනිජ තෙල් වෙළදපොල තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වී ඇත.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser Al Ameri) සහ අබුඩාබි ජාතික තෙල් සමාගමේ Crude and Condensateහි ජ්‍යෙෂ්ඨ උප සභාපති අබ්දුල්ලා අල් කුබායිසි (Abdulla al Qubaisi) ඇතුළු විධායක නිලධාරීහූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
















