කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙකුත් අත්අඩංගුවට

කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙකුත් අත්අඩංගුවට

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමති වශ්‍යයෙන් කටයුතු කරමින් සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් උපයා ගැනීම තුළින් රජයට පාඩු සිදු කිරීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්නා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී අද (26) නියෝග කර තිබේ.

ඒ අදාළ දැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අයත් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමක් පවතින බවත් එය හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල විසින් භාවිතා කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් සඳහන් කර ඇත.

මෙම ගිණුමට අමාත්‍යාංශ අරමුදල් බැරවී ඇති අතර ඒවා සැකකරුගේ අනු දැනුම මත කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය විසින් භාවිතා කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කර තිබේ.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයේ කරුණු දක්වමින් තම සේවාදායකයාට අදාළ බැංකු ගිණුම හිමි වුවද එය භාවිතා කළේ ඇමතිගේ දියණිය බව සඳහන් කර ඇත.

එම ගිණුමට පෞද්ගලික පාර්ශවයන්ගෙන් මුදල් බැර වී තිබෙන බව පිළිගන්නා නමුත් අමාත්‍යංශ අරමුදල් ඊට බැරවී නොමැති බවත් නීතිඥයා ප්‍රකාශ කර තිබේ.

මෙම ගිණුමට අදාළ ගනුදෙනු සිදුවී තිබෙන්නේ තම සේවාදායකයාගේ අනුදැනුමකින් තොරව වන අතර ඔහු ස්වේච්ඡාවෙන්ම අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති නිසා ඔහු ඇපමත මුදාහරින ලෙසත් එම නීතිඥයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටි ඇත.

එහෙත් එම කරුණු ප්‍රතික්ෂේප කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් අදාළ මුදල් මෙම ගිණුමට බැර වී තිබෙන්නේ සැකකරුගේ පූර්ණ අනුදැනුම මත බව සඳහන් කර තිබේ.

අදාළ ගිණුමට මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම් පිළිබඳ කෙටි පණිවිඩ සියල්ල ලැබී තිබෙන්නේ මෙම සැකකරුගේ ජංගම දුරකථනයට බවත් එබැවින් එම ගනුදෙනු පිළිබඳව තමන් නොදන්නා බවට සැකකරු විසින් දරන ස්ථාවරය පිළිගත නොහැකි බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ පවසා ඇත.

ඒ අනුව විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව කරුණු සළකා බැලූ මහසේත්‍රාත් තනූජා ලක්මාලී සැකකරු ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn