යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ඒ, පුදුකුඩිඉරිප්පුහිදී පසුගිය 26 වනදා පැවති “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලිය අද අමතමිනි.
එම රැලිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
“පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජන රැලියක් ආමන්ත්‍රණය කරන්නේ මා පළමු වතාවටයි. මීට පෙර මේ පළාතේ ඔබලා වෙනත් දේශපාලන කණ්ඩායම් සමඟ කටයුතු කරන්න ඇති. එහෙත් අප වෙනුවෙන් මෙවර වැඩිම ජනතාවක් සමග පවත්වන රැලිය මෙයයි. ගියවර මේ මුලතිව් ආසනය ජාතික ජනබලවේගයට විශාල ජයග්‍රහණයක් ගෙනත් දුන්නා. උතුරේ දෙමළ මුස්ලිම් ජනතාව ජාතික ජනබලවේගය කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි එකිනෙකා ඈත් වෙලා හිටියේ. පරණ දේශපාලනය විසින් අපව බෙදුවා. උතුරේ ජනතාව තෝරා ගත්තේ උතුරේ දෙමළ පක්ෂවල නායකයින්. දකුණේ ජනතාව තෝරා ගන්නේ දකුණේ සිංහල පක්ෂවල නායකයින්. නැගෙනහිර ජනතාව තෝරා ගන්නේ නැගෙනහිර මුස්ලිම් පක්ෂවල නායකයින්. එහෙත් පළමු වතාවට පසුගිය මහ මැතිවරණයේදී උතුරේ දෙමළ ජනතාවත් දකුණේ සිංහල ජනතාවත් නැගෙනහිර මුස්ලිම් ජනතාවත් සියලු දෙනා තෝරා ගත්තේ ජාතික ජන බලවේගයයි. බෙදිලා හිටපු අපි එකතු වුණා. ඒක හොඳයිනේ. අපට බෙදෙන්න ඕනෑද? ඒ ජාතිවාදී දේශපාලනය අපට නැවත එපා. අපි ජාතික සමගිය නිර්මාණය කරන දේශපාලන ව්‍යාපාරයයි. මේ රටේ අනාගතය රඳා පවතින්නේ බෙදිලා නොවෙයි සමගියෙන් හිටියොත් පමණයි. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සෑම ආගමකටම සෑම සංස්කෘතියකටම සෑම ජන කොට්ඨාසයකටම ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා. කිසි ජන කණ්ඩායමක් කතා කරන භාෂාව අනුව අදහන ආගම අනුව කොන් කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ඔක්කොටම තියෙන්නේ එක රටයි. ඒ ශ්‍රී ලංකාවයි. ඒ රටේ අපි ඔක්කොටම සමාන අයිතීන් තිබෙනවා.
පරණ පක්ෂ අපේ රට බෙදන්න සැලසුම් හැදුවා. අපි එකතු වෙලා ආණ්ඩුවක් හැදුවා. අපි එකතු වෙලා මේ රට පියවරෙන් පියවර ගොඩගන්න කටයුතු කරනවා. උතුරේ ජනතාවට අනන්‍ය ගැටලු තිබෙනවා. තිස් වසරක යුද්ධය පළාතේ සංවර්ධනය පහළට හෙළා තිබෙනවා. යුද්ධය නිසාම විශාල සමාජ ප්‍රශ්න පැන නැගී තිබෙනවා. යුද්ධය අවසන් වී වසර 16ක් ගෙවුණත් එහි අතුරු ඵල තවත් තිබෙනවා. මේ පිළිබඳව වත්මන් ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කරනවා. යුද්ධය හේතු කර ගෙන ආරක්ෂාව හේතු කර ගෙන ජනතාවගේ ඉඩම් පවරාගෙන තිබෙනවා. වත්මන් ආණ්ඩුව නිදහස් කළ හැකි සෑම බිම් අඟලක්ම ජනතාවට ලබාදෙනවා. යුද්ධය නිසා මේ ප්‍රදේශයේ බහුතරයක් හුදෙකලා වුණා.
වට්ටුවාකල් පාර ලබන මාසය අටවෙනි දා හදන්න පටන් ගන්නවා. ඒ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබෙනවා. කෝකිලායි පාලම වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙනවා. එම පාලම ඉදි කළාට පසුව මුලතිව් හා ත්‍රිකුණාමලය ගමනාගමනය කිලෝමීටර් 80කින් අඩු වෙනවා. ඒ සඳහා ලබන වසරේ මුදල් වෙන් කරනවා. නොවැම්බර් මාසයේ ලබන වසරේ අයවැය යෝජනා ගේනවා. ඒ සඳහා කෝකිලායි පාලමත්, සලෛ පාලමක් හදන්න මුදල් වෙන් කරනවා. මේ පළාත් අප ගොඩ ගත යුතුයි. මේ වසරේ උතුරේ කඩා වැටුණු පාරවල් හදන්න රුපියල් මිලියන 5000ක් වෙන් කර තිබෙනවා. එයින් මිලියන 1000ක් මුලතිව් ප්‍රදේශයට වෙන් කර තිබෙනවා. හැම පාරක්ම හදන්න අවශ්‍යයි. ජනතාවට අවශ්‍ය සහන ආණ්ඩුව ලබා දෙන්න සූදානම්.
මේ ප්‍රදේශයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි. කෘෂි කර්මාන්තය සඳහා හොඳ වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා. ඔබ වගා කිරීමට සූදානම් නම් ඉඩම් ලබා දීමට ආණ්ඩුව කටයුතු කරනවා. පොහොර සහනාධාර ලබා දීමටත් ආණ්ඩුව කටයුතු කළා. කෘමිනාශක වල්නාශකවල මිල අඩු කිරීමට කටයුතු කරනවා. අඩු මිලකට ඔබලාගේ නිෂ්පාදන විකුණන්න ඉඩ දෙන්නෙ නැහැ. ආණ්ඩුව ඔබගේ නිෂ්පාදනවලට හොඳ මිලක් නියම කර තිබෙනවා. උතුරු පළාතේ හෙක්ටෙයාර 40,000ක පොල් වගා කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මේ වසරේදී හෙක්ටෙයාර 10,000ක පොල් වගා කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙනවා.
අපේ ආණ්ඩුව අස්වැසුම වැඩි කළා. ජුනි මාසය අස්වැසුම නොලැබෙන අස්වැසුම ලැබිය යුතු අලුත් පවුල් ලක්ෂ හතරකට මුදල් ලබා දීමට තීරණය කළා. අප ජනතාව බලා ගන්නවා. ජනතාවට ලබා දෙන සෑම දීමනාවක්ම අප වැඩි කර තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. ජනතාවට සහන දෙන්න පුළුවන් හොඳම ආණ්ඩුව මේකයි. මේ පළාත් දුප්පත්භාවයෙන් මුදවා ගැනීමට අධ්‍යාපනය ගුණාත්මක කළ යුතුයි. දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලබා දෙන ගුරුවරු හිඟයක් තිබෙනවා. මේ පළාතේ ගුරු පුරප්පාඩු සියල්ල පිරවීමට අප කටයුතු කරනවා. දරුවන්ට උගැන්වීමට කටයුතු කරන්න. ගොඩනැගිලි නැති පාසල්, ගුරුවරුන් නැති පාසල්, සොයා දැනුවත් කරන්න. මේ පළාතේ අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. නගරයේ පාසලක තිබෙන සෑම පහසුකමක්ම ගමේ පාසලට ලබා දෙනවා. ඉගෙන ගැනීමෙන් තමයි දුප්පත්කම තුරන් කළ හැක්කේ. දරුවන් තුන්සියයට වඩා අඩු පාසල්වල දරුවන්ට සපත්තු කුට්ටමක් ලබා දෙන්න කටයුතු කරනවා.
හොඳ සෞඛ්‍ය සේවාවක් පුරවැසියන්ට ලබා දීමට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. සෞඛ්‍යයට වෙන් කළ මුදල දිහා බැලූ විට කිසිම රෝහලක ඖෂධ හිඟයක් තිබෙන්න විදිහක් නැහැ. එහෙම වුණොත් තිබෙන්නේ මුදල් ප්‍රතිපාදන තිබෙනවා මිලදී ගන්න ක්‍රමවේදය දුර්වලයි. ඒ නිසා ඖෂධ මිලදී ගැනීමට ක්‍රමවේදයක් හදනවා.
ප්‍රවාහන පද්ධතිය විශාල දුර්වලතාවකින් පෙළෙනවා. මේ වසරේ රුපියල් කෝටි 300ක් ප්‍රවාහනය නගාසිටුවීමට වෙන් කර තිබෙනවා. නගරවල නියමු ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කර සොයා බලා ගමට ගෙන ඒමට කටයුතු කරනවා.
මීට පෙර අපේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු ගැන දේශපාලන අධිකාරිය ගැන ජනතාව මොනවද හිතුවේ? සියලු පහසුකම් මන්ත්‍රී ගත්තා, ජනතාවට මුකුත් ලබා දුන්නේ නෑ. එහෙත් වත්මන් ආණ්ඩුව ලෙස ජනාධිපතිවරයා ලෙස මම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස අපේ ආණ්ඩුවේ අය, සියලු දේ අත්හරිමින් ජනතාවට ලබා දෙනවා. මීට පෙර ඇමතිවරයාට ගෙවල් දුන්නා ගෙවල්වල ලයිට් බිල් වතුර බිල් ගෙවුවා , දැන් එහෙම ගෙවන්නේ නැහැ, මන්ත්‍රීවරයෙකුට ලක්ෂ දහයක රක්ෂණාවරණයක් තිබෙනවා. එය ලක්ෂ දෙකහමාර දක්වා අඩු කරනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප් සියල්ල ඉවත් කරනවා.
ලොකු ජනාධිපති මන්දිරයක් මේ කන්කසන්තුරේ තිබෙනවා. යාපනය ජනතාව අපට කියන්න මේ මන්දිරයට මොකද කරන්නේ කියලා. ඒ සඳහා මන්දිරය පවරා දෙනවා. විශ්වවිද්‍යාලයකට හෝ සංස්කෘතික මධ්‍යස්ථානයකට හෝ සංචාරක හෝටලයකට හෝ පවරා දෙන්න කැමතියි. රටක් හදන්න අවශ්‍ය නම් පාලකයෝ තමන්ට තිබෙන දේවල් අත්හරින්න ඕනෑ. ඒවා ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න ඕනෑ. මීට පෙර පාලකයෝ ජනතාවට මුකුත් නොදී සියල්ල ඔවුන් ළඟ තබා ගත්තා. දැන් ඒ යුගය ඉවරයි. දැන් තියෙන්නෙ මේ රට හදන යුගයයි. වසර හැත්තෑහයක් අපේ රට පාලනය කළේ පවුල් කීපයක් පමණයි. අද පොදු ජනතාව පාලනය කරන තැනට පත් වී තිබෙනවා.
මීට පෙර ජනාධිපතිවරණයේදී දුරකථනයෙන් අපේක්ෂකයා වුණේ ජනාධිපතිවරයෙකුගේ පුතෙක්, පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයා වුණෙත් ජනාධිපතිවරයෙකුගේ පුතෙක්, සිලින්ඩරෙන් අපේක්ෂකයා වුණෙත් ජනාධිපතිවරයාගේ බෑණ කෙනෙක්, මම විතරක් තඹුත්තේගමෙන් ආපු කෙනෙක්. එයාල කවදාවත් හිතුවේ නැහැ මෙහෙම වැඩක් වෙයි කියලා. 2019දී අපට 3%යි. 2024දී ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් පොදු ජනතාවගේ ආණ්ඩුවක්, තුනෙන් දෙකක ආණ්ඩුවක් හැදුවා. අපේ කිසිකෙනෙක් ජනතාවගේ සතයක්වත් නාස්ති කරන්නේ නැහැ.
දැන් ජනතාව අහන්නේ ඔබලා හොරකම් කරන්නේ නැහැ, නමුත් හොරකම් කරපු අයට මොකද කරන්නේ කියලා. මේ වෙද්දීත් උතුරු මැද මහ ඇමති හිරේ. ඌව මහ ඇමැති රිමාන්ඩ්, නැගෙනහිර මහා ඇමති රිමාන්ඩ්, තවත් ඇමතිවරු දෙන්නෙක් හිරේ. දැන් අපි විමර්ශනය කරලා අධිකරණයට ඉදිපත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ ලොකු පුතාටයි, මද්දුම පුතාටයි, ආච්චිටයි නඩු පවරා තිබෙනවා. එයාලා මේ දක්වා හිතාගෙන හිටියේ ඔවුන් ඉන්නේ නීතියට වඩා උඩින් කියලයි. එයාලා නීතියට යටත් නැතුව හිටියේ. තරාතිරම් නොබලා කාටත් නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් ලංකාවේ පළමු වතාවට හදලා තියෙනවා.
ඒ නිසා මැයි මාස හය වන දා තවත් විශාල හයියක් ආණ්ඩුවට ලබා දෙන්න අවශ්‍යයි. ගමේ පාර හදන්න. කාණු පද්ධතිය හදන්න. පෙර පාසල් පද්ධතිය සකස් කරන්න. ඒවා ජනතාවත් එක්ක ගැට ගැහෙන වැඩ. ඒ නිසා මේ පළාත් පාලන ආයතනය ලබා දෙන්න ඕනේ ජාතික ජන බලවේගයටයි. ලබන ඔක්තෝබර් මාසෙදී ජාතික සංස්කෘතික උලෙළක් පැවැත්වීමට අප කටයුතු කරනවා. යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ගොඩනැඟීමට අප කටයුතු කරනවා. අපේ පළමු පාලන කාලය ඇතුළත ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත් වීමට අප කටයුතු කරනවා. හැමතැනම අපි එකට ඉන්න අවශ්‍යයි. මේ පළාතේ සිටි විදේශගතව සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට ආයෝජනය කරන්න පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඔබ කොහේ හිටියත් මේ රට හදන්න සහභාගී වෙන්න කියලා ඩයස්පෝරාවට ආරාධනා කරනවා.
මා වැඩි කාලයක් දේශපාලනය කළේ සිංහල ජනතාව සමඟයි. සිංහල ජනතාව සමඟ වැඩි රැස්වීම් ගණනාවක් තබා තිබෙනවා. එහෙත් මගේ භාෂාව නොතේරෙන අප මීට කලින් මුණ නොගැසී ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අබමල් රොණකින් කඩ කරන්නේ නැහැ. අද විශ්වාස නොකරන අය හෙට විශ්වාස කරන තැනට ගෙන ඒමට අප වැඩ කරනවා. අපේ අනාගත දරු පරම්පරාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුව මෙයයි. මේක පොදු ජනයාගේ ආණ්ඩුවයි. මෙම ආණ්ඩුව රැක ගනිමු. ශක්තිමත් කරමු.”
















