අවුරුදු හැත්ත පහක් පුරා දූෂණයවලට, අපරාධවලට තිබුණ දේශපාලන රැකවරණය වත්මන් රජය ඉවත් කර ඇති බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව පැවසූවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරියවැව, හුංගම, තංගල්ල ප්‍රදේශවල ඊයේ (27) පැවති ජනහමු අමතමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
“අවුරුදු හැත්ත පහක් තිස්සේ දූෂණයවලට,අපරාධවලට තිබුණ දේශපාලන රැකවරණය අපි ඉවත් කරලා තියෙන්නේ. තවදුරටත් ඒ ජනතා විරෝධී දූෂිණ, අපරාධවලට රැකවරණයක් නෑ. මේක කරන්න පටන් ගන්නකොට ඒකෙන් බය වුණ, අවුල් වුණ පිරිසක් රාජ්‍ය සේවය තුළත් ඉන්නවා. ආරක්ෂක සේවය තුළත් ඉන්නවා. මේ සියල්ලම දේශපාලන ආශිර්වාදය එක්ක තමා පවත්වාගෙන ගියේ. දේශපාලන ආශිර්වාදය නැති වුනාම දැන් මේක ඇතුළට හරවලා තියෙන්නේ ඉතුරු පුරුක් ටිකත් ලිහා ගන්න. ඒක තමයි ඔබ මේ දවස්වල දකින්නේ?
ඒකේ ප්‍රසිද්ධම සිද්ධීන් දෙකෙන් එකක් තමයි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම. ඊට පස්සේ ඔහුට එරෙහිව ක්‍රියාත්මක වීම. ඔබ හිතන්න මීට පෙර පොලිස්පති අත්අඩංගුවට ගත්තා කියලා ඔබ අහලා තිබෙනවද? පාර්ලිමේන්තුව ත්‍රිපුද්ගල කමිටුවකුත් ඒ වෙනුවෙන් පත් කරලා තියෙන්නේ. අද ඒ කල්ලිය තුළින් ආරක්ෂා වෙච්ච අයටත් බයක් ඇතිවෙනවා.
පැවති ආණ්ඩු පක්ෂයේ කැබිනට් තනතුරු දරපු පිල්ලෙයාන් වැනි අය අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. එතනත් මම පුදුම විහිළු සහගත දේවල් දැක්කා. පොහොට්ටුවේ අය කියන විදිහට යුද්ධය දිනලා තියෙන්නේ පිල්ලෙයාන්. නමුත් පිල්ලෙයාන්ව අත් අඩංගුවට ගත්තේ විශ්වවිද්‍යාල කුලපතිවරයෙක් අතුරුදහන්වීම සම්බන්ධයෙන්.
සූරියවැව ප්‍රාදේශීය සභාව පොළ බද්දක් අය කරනවා කියලා තියනවා. බදු හෝ වරිපණම් ගන්නවා නම් ඒක පෙරළා සේවාවක්, පහසුකමක් ලෙස ජනතාවට ලැබෙන්න ඕන. මේ කියන ක්‍රමය ඒක බදු ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක්. බදු එකතු කරන්න කොන්ත්‍රාත්තුවක් දීලා ඒ මුදල් එකතු කරගන්නේ වෙනත් කවුරු හරි පුද්ගලයෙක්. ඒ කියන විදිහට එකතු කළ බදුවලින් පොළ හැදුවනම් පොළ හොදම තත්වයේ තියෙන්න ඕන.
සූරියවැව ප්‍රාදේශීය සභාවේ ආදායම කෝටි එකොළහක්. ඒ මුදල් ප්‍රාදේශීය සභාවටම යෙදෙව්ව නම් අද සුපිරිම තත්වයේ තියෙන්න ඕන. එහෙම නෑ කියන්නේම ඒ මුදල් කාගේ හරි අතට ගිහින් තිබෙනවා.
පාසල්වල මුදල් එකතු කරන්න එපා කිව්වත් තාමත් ඒක සිද්ධ වෙනවා කියලා අපිට පැමිණිලි ලැබෙනවා. අපි ඉක්මනින් ඊට අවශ්‍ය පියවර ගන්නවා. ඒ පැමිණිලි විමර්ෂණය කරන්න ප්‍රමාණවත් විමර්ෂණ නිලධාරීන් නෑ. අපි දැන් අමාත්‍යාංශවල විමර්ෂණ ඒකක ශක්තිමත් කරන්න කටයුතු කරමින් යනවා.
අපි සම්මත කරගත්ත අයවැයෙන් විශාල මුදලක් වෙන්කරලා තියෙනවා ගම සංවර්ධනය කරන්න. ගමේ යටිතල පහසුකම්වලට, ගමේ ආර්ථිකය වර්ධනයට, විශේෂයෙන්ම කාන්තාවන්ට තරුණ තරුණියන්ට ස්වයං රැකියා අවස්ථා හදන්න වගේම ගම පිරිසිදු කරන්න.
රජය දැන් ආර්ථිකය ස්ථාවර තැනකට ගෙනල්ලා තිබෙනවා. ඒක ආර්ථික වර්ධනයක් දක්වා ගෙනියන්න ඕනේ. ආදායම් ඉහළ නංවන තැනකට අපි මේක ගේන්න ඕනේ.
උසස් පෙළ ප්‍රතිඵල ඊයේ රාත්‍රී නිකුත් කළා විභාගය සමත් වූ සියලු දරුවන්ට සුභ පතනවා. අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වෙනවා. සමහර දරුවන් වෘත්තීය නිපුණතාවක් ලබා ගන්න කටයුතු කරනවා. සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නෑ. මේ අධ්‍යාපන ක්‍රමය තුළින් ඒ දරුවන්ට මාර්ගයක් සකස් කරලා නැහැ. අපේ අලුත් වැඩපිළිවෙල තුළ සියළු දරුවන්ට නිවැරදි මගපෙන්වීමක් සහිත වැඩ පිළිවෙලක් අපි සකස් කරලා තිබෙනවා. ඒක අපි 2026 ඉඳන් ආරම්භ කරනවා.”
රජය බලයට පත්වී තාම මාස හයක් බවත්, ඉදිරියේදී මේ සියල්ල නිවැරදි කරන්න රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලිය සඳරුවන්, අතුල වෙළඳගොඩ සහ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.




සූරියවැව ජන හමුව











සූරියවැව ජන හමුව




හුංගම ජන හමුව










