වැලිගම වෙඩිතැබීම: පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කරලා – නියෝජ්‍ය සොලිසිටර් මහේෂිකා ද සිල්වා

වැලිගම වෙඩිතැබීම: පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කරලා – නියෝජ්‍ය සොලිසිටර් මහේෂිකා ද සිල්වා

මාතර, වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් CCD හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීම වලවන නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති නඩුකරයට පාදක වන මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ පූර්ණ වාර්තාව මෙම අධිකරණයට ඉදිරිපත් කරන බවට පෙත්සම්කරුවන් මීට පෙර අධිකරණයට දැනුම්දී තිබුණත් එය මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවත් ඒ අනුව පෙත්සම්කරුවන් කරුණු වසන් කිරීමක් සිදුකර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් මහේෂිකා ද සිල්වා අභියාචනාධිකරණයේදී අද (26) සඳහන් කළේය.

ඒ එම පෙත්සම පිළිබඳ නඩුව අභියාචනාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීය.

එහිදී W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් CCD හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ඇති කරගෙන තිබෙන එකඟතාවය නීතිපතිවරයාගේ විරෝධතාවයට යටත්ව අප්‍රේල් මස 28 වනදා දක්වා දීර්ඝ කරන බව අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කර තිබේ.

මෙම පෙත්සමේ පෙත්සම්කරුවන් වශයෙන් නම්කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ඇන්ස්ලම් සිල්වා ඇතුළු නිලධාරීන් 06 දෙනෙකු මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට තමන්ට අවශ්‍ය නොවන බවත් ඒවා ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා ඇත.

ඒ අනුව එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දී තිබේ.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒරාජ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා සහ ජගත් නිශාන්ත යන පෙත්සම්කරුවන්ගේ පෙත්සම් වැඩිදුර ලේඛන ඉදිරිපත් කොට තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

එම ඉල්ලීමට නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේෂිකා ද සිල්වා දැඩි විරෝධය පළ කළ අතර මෙම පෙත්සමට ඇතුළත්ව සිටි පෙත්සම්කරුවන් 06 දෙනෙකු ඒවා මේ වනවිටත් ඉවත් කරගෙන ඇති නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම නඩුකරයට පාදක වන මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ පූර්ණ වාර්තාව මෙම අධිකරණයට ඉදිරිපත් කරන බවට පෙත්සම්කරුවන් මීට පෙර අධිකරණයට දැනුම්දී තිබුණත් එය මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවත් ඒ අනුව පෙත්සම්කරුවන් කරුණු වසන් කිරීමක් සිදුකර ඇති බවත් ඇය අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව අධිකරණය හමුවේ විධිමත් පෙත්සමක් නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මාතර නඩු වාර්තාව ලබා ගැනීමේ ප්‍රමාදයක් හටගත් බවත් එම තොරතුරු සම්පූර්ණ ලේඛන ඉදිරිපත් කර කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අප්‍රේල් මස 28 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්