චන්දන සූරියබණ්ඩාරට, අනුරුද්ධ ලොකුහපුආරච්චිට ජනපතිගෙන් ඉහළම තනතුරු දෙකක්

චන්දන සූරියබණ්ඩාරට, අනුරුද්ධ ලොකුහපුආරච්චිට ජනපතිගෙන් ඉහළම තනතුරු දෙකක්

මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නිවේදකයෙකු වන චන්දන සූරියබණ්ඩාරටත් දේශීය ජනමාධ්‍ය ඡායාරූපකරණයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ අනුරුද්ධ ලොකුහපුආරච්චිට ජනාධිපති මාධ්‍ය අංශයේ ඉහළ තනතුරු දෙකක් පිරිනමා තිබේ.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාර පත් කර ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස අනුරුද්ධ ලොකුහපුආරච්චි පත් කර ඇත.

ඔවුන්ට හිමි පත්වීම් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ලබාගෙන තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන චන්දන සූරියබණ්ඩාර වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කර ඇත. මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විශිෂ්ට සන්නිවේදකයෙකු ලෙසද ප්‍රෙක්ෂක හදවත් දිනා ගෙන තිබෙන ඔහු ලේඛකයෙකුද වෙයි.

දේශීය ජනමාධ්‍ය ඡායාරූපකරණයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ අනුරුද්ධ ලොකුහපුආරච්චි ජාත්‍යන්තර රොයිටර් ප්‍රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ඩිජිටල් ඡායාරූපකරණය මෙරට පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේය. ඔහු ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි.

Facebook
Twitter
LinkedIn