රාජපක්ෂ පවුල් දේශපාලනය සමඟ අතිශයෙන් සමීපව කටයුතු කරමින් අන්ත ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රචාර ගෙන ගිය අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ද සබඳතා පවත්වා රටින් පැන ගොස් සිටි ඩෑන් ප්‍රියසාද් අද උදෑසන කටුනායක ගුවන්තොටුපලේදී අත්තඩංගුවට ගෙන තිබේ.
ඔහු පසුගිය ජනවාරි 29 වෙනි දින ඩුබායිහිදී රිය අනතුරකින් මිය ගිය බවට ප්‍රචාරයක් ද කරනු ලැබීය. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස ක්‍රියාකර රටින් පැන ගොස් සිටි චූදිතයන් ජාත්‍යන්තර පොලිසිය මගින් අත්තඩංගුවට ගෙන ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාමාර්ග දියත් කිරීමත් සමඟ ඩෑන් ප්‍රියසාද් නැවත මෙරටට පැමිණ තිබේ.
ඔහු අත්තඩංගුවට ගැනීම පිළිබඳව බීබීසී සිංහල වෙබ් අඩවිය පළ කළ සම්පූර්ණ වාර්තාව උපුටා ගෙන පහත දැක්වේ.
ඩුබායිහිදී මිය ගිය බව කී ඩෑන් ප්‍රියසාද් කටුනායකදී අත්අඩංගුවට: චෝදනා මොනවා ද?
සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙසින් පෙනී සිටි ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේදී අද (පෙබරවාරි 11) අත්අඩංගුවට ගැනිණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ, ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කර ඇති විදෙස් ගමන් තහනමකට අනුව ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බව ය.
ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගත්තේ ඇයි?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ, මත්ද්‍රව්‍ය ජාවරුම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරයෙකුට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබූ බව ය.
“2024 වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට නාන්නේරිය පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව නිකවැරටිය පොලිස් අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. ඊට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් මෙන් ම ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග දෙකක් නිකුත් කරනු ලැබුවා.”
ඒ අනුව, අද දින උදෑසන 6.00ට පමණ ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගෙන නිකවැරටිය පොලිස් අපරාධ කොට්ඨාසය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාර දෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
ඩෑන් ප්‍රියසාද්ට මීට පෙර එල්ල වූ චෝදනා කිහිපයක්
2022 වසරේ මැයි මස 09 වන දා කොළඹ ගාලු මුවදොර පැවති සාමකාමී විරෝධතාවට පහරදීමේ නඩුවේ 06 වන විත්තිකරු ලෙස ඔහු නම් කර තිබේ.
එමෙන් ම, 2017 වසරේදී ගල්කිස්ස ප්‍රදේශයේ රෝහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ලක් අසල කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගනු ලැබීය.
මීට අමතරව, මෙරට තුළ ඇති වූ විවිධ කලහකාරී සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගැනිණි.
මේ අතර, 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී කටුනායක ගුවන්තොටුපළින් විදෙස්ගත වීමට පැමිණි ඩෑන් ප්‍රියසාද් ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යවනු ලැබීය. ඒ ඔහුට එරෙහිව අධිකරණය පනවා තිබූ විදෙස් ගමන් තහනමක් හේතුවෙනි.
මියගිය බවට පළවූ පුවත
මේ වසරේ ජනවාරි මස 29 වන දා ඩුබායිහිදී සිදුවූ රිය අනතුරකින් ඩෑන් ප්‍රියසාද් මිය ගිය බවට පුවතක් ප්‍රචාරය විය.
සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු මිය ගිය බවට දැක්වෙන සටහන් රැසක් පළවී තිබිණි.
කෙසේ වෙතත්, ඔහු මිය ගිය බවට පළවූ වාර්තා සත්‍ය බව තහවුරු වූයේ නැත.










