ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.
වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත නැවත නැඟී සිටීමට සහාය ලබා දීමට තම රජය සූදානම් බව අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කරන 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් ඊයේ (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණ.
ශ්රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම මෙම සම්මාන ප්රදානෝත්සවයේ ප්රධාන පරමාර්ථය වේ.
ඒ අනුව අපනයන ක්ෂේත්රයට සහ ආර්ථික ප්රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපති විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය ලෙස ජනාධිපති අපනයන සම්මානය පිරිනැමේ.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර 2023/24 මූල්ය වර්ෂය තුළ ශ්රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම වෙනුවෙන් මෙවර සම්මාන ප්රදානය කෙරිණි.
මෙහිදී සමස්ත සම්මාන 14ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51ක් සහිතව ප්රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනමනු ලැබූ අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමේ හැකියාව සම්මානලාභීන්ට හිමිවේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ ලෝකයේ වෙළෙඳපොළ ආර්ථිකය රඳා පවතින්නේ ස්වයං හෝ ස්වාධීනව නොවන බැවින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්රී ලංකාවෙන් පරිබාහිර ආර්ථිකයේ කොටස්කරුවන් ශ්රී ලංකාව කෙරෙහි තබන විශ්වාසය ඉතා වැදගත් බවයි.
වර්තමාන ලෝකය තුළ වෙළෙඳපොළ බෙදාගෙන අවසන් වී තිබීම හා යළි වෙළෙඳපොළ බෙදා ගැනීම සඳහා තරඟයක් ඇති වී තිබීම තුළ ප්රමාණවත් පංගුවක් අත්පත් කර ගැනීම අප රට මුහුණ දෙන ප්රධාන අභියෝගය බවද ජනාධිපති සඳහන් කළේය.
අද වෙළෙඳපොළ ලෝක දාමයක් බවට පත් වී ඇති බව සඳහන් කළ ජනාධිපති එහි පාර්ශ්වකරුවකු බවට පත් වීමට රටට හිතකර වෙළෙඳ ගිවිසුම්වලට එළඹිය යුතු බවත් දඩබ්බර, හිතුවක්කාර දරුවකු ලෙස වෙළෙඳපොළ ආක්රමණය කළ නොහැකි බවත් අවධාරණය කළේය.
එහිදී ගුණාත්මකභාවයෙන් වෙළෙඳපොළට පිවිසීමට අවශ්ය තාක්ෂණික සහාය ලබා දීමට තම රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ජනාධිපති සඳහන් කළේය. ලෝකයේ ඇතිවන වෙනස්කම්වලට අනුරූප වන පරිදි නව භාණ්ඩ හා සේවා සැපයීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
විදුලිබිල අඩු වීම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කළ ජනාධිපති වසර කිහිපයක් තුළ පිරිවැය අඩු කර ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළේය.
රටේ ආර්ථිකය වෙනත් තලයකට ගෙන යාමට රජයක් ලෙස උපරිම මැදිහත්වීම සිදු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට මරු පහරක් වනු ඇති බැවින් ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ඉතා ප්රවේසම් සහගත විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
රටේ ආර්ථිකය නඟා සිටුවීමේ ප්රධාන කොටස්කරුවන් ලෙස අපනයනකරුවන්ගේ ඉල්ලීම්, මේ වනවිට සකස් කර ගෙන ඇති අත්තිවාරම නොබිඳෙන ලෙස ඉටු කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මේ වනවිට ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩි පිළිවෙළට ප්රවේසම් සහගතව යොමු වී ඇති බවත් ඒ අසීරු කඩඉම අන්යෝන්ය අවබෝධයෙන් පියමං කිරීමට එක් වන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ශ්රී ලාංකීය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.
කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති, කම්කරු අමාත්ය හා ආර්ථික සංවර්ධන නියෝජ්ය ඇමති අනිල් ජයන්ත ප්රනාන්දු,බලශක්ති ඇමති කුමාර ජයකොඩි, කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය ඇමති චතුරංග අබේසිංහ, කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති / ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව ඇතුලු අමාත්යවරු, නියෝජ්ය අමාත්යවරු, පාර්ලිමේන්තු මන්ත්රීවරු, රාජතාන්ත්රිකයින්, අමාත්යාංශ ලේකම්වරු, ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.





















