ඇමති ආනන්ද විජේපාල සහ ආගමන හා විගමන නිලධාරීන් අතර හමුවක්

ඇමති ආනන්ද විජේපාල සහ ආගමන හා විගමන නිලධාරීන් අතර හමුවක්

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් අද (07) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී සිදුකර තිබේ.

මෙහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ පැන නැගී ඇති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරී ඇති අතර යෝජිත 24 පැය සේවා සැපයීමේ ක්‍රියාවලිය සහ දිගුකාලීන විසඳුම් කෙරෙහි අවධානය යොමු කර ඇත.

පසුගිය සමයේ ගෙන තිබූ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා පැන නැගී තිබූ අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව දිවා රෑ පුරා දුක් විඳින බවත් එවැනි පීඩාවක් ජනතාවට ඇති නොවන පරිදි ජනතාවට සේවය කළ යුතු බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල වැඩිදුරටත් පවසා තිබේ.

මෙම අර්බුදයට පිළියම් ලෙස පසුගිය සතියේ විද්වත් කමිටු නිර්දේශ පරිදි දිනකදී නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමටත් යාපනය ප්‍රදේශය තුළ නව ආගමන හා විගමන කාර්යාලයක් ආරම්භ කිරීමටත් එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාර්යමණ්ඩල සපයා ගැනීම සඳහා වන අමාත්‍යමණ්ඩල තීරණය රාජ්‍ය සේවා කොමිසමට යොමුකර ඇති බවත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය නුදුරේදී ලබා ගන්නා බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල ප්‍රකාශ කර ඇත.

යෝජිත 24 පැය විදේශ ගමන් බලපත්‍ර සේවා සැපයීමේ ක්‍රියාවලියේදී සේවා මුර 03ක් යටතේ නිලධාරීන් සේවා සැපයීමේ නිරත වීමටත්, අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය සේවය තුළින්ම සහ විශ්‍රාමික පුහුණු නිලධාරීන් යෙදවීම කෙරෙහිත් අවධානය යොමුව ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම ඇමති ආනන්ද විජේපාල පෙන්වා දී ඇත්තේ ජනතාව තුළ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයකින් තොරව ලබා ගත හැකි යැයි විශ්වාසය ඇති කළ යුතු බවත් එමඟින් මෙම අර්බුදය නිරාකරණය කළ හැකි බවත්ය.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහාත් ජනතාවට සහාය වීමටත් අලුතින් පොලිස් මුරපොලක් යෙදවීමට උපදෙස් ලබා දුන් බවත් හෙතෙම පවසා තිබේ.

මෙම අවස්ථාවේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට ඇමති ආනන්ද විජේපාල වෙත තම ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වූ අතර විදෙස්ගමන් බලපත්‍ර ලබා දීමේදී තමන්ට මතු වන ගැටලු පිලිබඳව මෙහිදී අදාල නිලධාරීන් විසින් ඇමතිව දැනුවත් කර ඇති අතර එම ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් ලබා දෙන බවද ඇමති අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කර ඇත.

ජනතා අභිලාෂයන් නියෝජනය වන පරිදි රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමත් නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් රටතුළ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමත් තම අරමුණ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩ බලන ආගමන හා විගමන පාලක ජෙනරාල් නිලූෂා බාලසූරිය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn