පොල් හිඟයට හේතුව පොල් වගාව දියුණු කිරීමට මෙතෙක් කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොතිබීම බවත් පොල් වගාව දියුණු කිරීමට මෙවර අයවැයෙන් මුල්‍ය ආධාර ලබා දෙන බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරයි.
ඇය මේ බව පැවසූවේ ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.
වත්මන් රජය පොල් වගාව දියුණු කිරීම සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කරන බවත් එතෙක් කෙටිකාලීන වැඩ පිළිවෙල කිහිපයක් අනුගමනය කරමින් පවතින බවද ඇය එහිදී සදහන් කර තිබේ.
පොල් හිඟය ඉදිරියේදී ඇති නොවීම සදහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති පොල් වගාවට සම්බන්ධ ආයතන මගින් ඉහළ පොල් ඵලදාවක් සඳහා වන පරීක්ෂණ, දේශීය පොල් නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය කෘෂි පිළිවෙත් හා ඉහළ අස්වනු විභවයන් සහිත පොල් ප්‍රභේද හදුන්වාදීම, පොල් වගාවේ රෝග හා පළිබෝධ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ නිර්දේශ ලබාදීම, පොල් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කිරීම ආදී ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අගමැති ආචාර්ය හරිනි අමරසූරිය එහිදී අවධාරණය කර ඇත.










