ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමටත් පෙර ඇමරිකානු නව ජනාධිපති ට්‍රම්ප් හා ඔහුගේ සමීපතමයෙකු හා X සමාජ ජාලා හා ටෙස්ලා අධිපති එලොන් මසක්ගේ අත්තනෝමතික ප්‍රකාශයන් මේ වනවිට රාජතාන්ත්‍රික මට්ටම්ද ඉක්මවා ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. විශේෂයෙන් ජර්මනියේ නාසි AFD පක්‌ෂයට, මහා බ්‍රිතාන්‍ය අගමැති KEIR STARMERට කුඩා ළමුන් දුෂකයෙකු ලෙස චෝදනා කිරීම මෙන්ම අද දිනයේ කැනඩා හිටපු අගමැතිවරයාට එරෙහිව AI තාක්ෂනය යොදා ගෙන සිදු කරන ලද වීඩියෝවක් නිසාත් යුරෝපා සංගම් නායකයින් එලොන් මස්ක්ගේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව නිවේදන නිකුත්කරනුයේ ඒ සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ නිහඬතාවයද දැඩි විවේචනයකට ලක් කරමිනි.
කැනඩාව ඇමරිකාවේ 51 වෙනි ප්‍රාන්ත්‍රය බවට පත් කර ගැනීම, ග්‍රීන්ලන්තය හා පැනමාව ඈඳා ගැනීම, යුරෝපයේ අන්ත දක්ෂිණාංශික නාසි වාදී පක්ෂ වලට ඍජුවම සහය දැක්වීම නිසාත් ට්‍රම්ප් ගේ නව ආගමනය යුරෝපීය කොමිසම ඇතුළු බටහිර ලෝකය මේ වන විට සලිත කර ඇති අතර යුරෝපයේ සැබෑ සතුරා එන්නේ චීනයෙන් හෝ රුසියාවෙන් නොව ඇමරිකාවෙන් යයි පැවසීමට තරම් ඇතැම් ලිබරල් මාධ්‍ය ඉදිරියට ගොස් ඇත.
ඊයේ ජනවාරි 9 වැනිදා ජර්මානු අන්ත දක්ෂිනාංශික AFD නායිකාව වන ඇලිස් වයිඩෙල් සමඟ එලෝන් මස්ක් විසින් සිදු කරන ලද “සජීවී සංවාදය ” යුරෝපා සංගමය තවත් කෝපයට පත් කර ඇත. විදේශ සංක්‍රමිකයන්ගේ ප්‍රශ්ණය, යුක්රේන-රුසියා ගැටුම නිසා බල ශක්ති අර්බුධය, ආරක්ෂාව, අධ්‍යාපනය හා නිලධාරිවාදය යන කාරණා මත පදනම්ව ගොඩ නැගුනු මෙම සංවාදය තුල නාසි AFD නායිකාව විසින් ජර්මනියේ හිටපු නායිකාව ඇන්ජෙලා මර්කෙල් එරට බංකොලොත් කල බව පවසා සිටියේය. විශේෂයෙන් න්‍යෂ්ටික බලාගාර වසා දැමීම, 2015 සිට විදේශ සංක්‍රමිකයන් මිලියනා 7කට රට විවෘත කිරීම පිළිබඳව ඇය හිටපු වාන්සල්වරියට චෝදනා කලාය. රටේ අධ්‍යාපනය වාම කල්ලි වල, LGBT ප්‍රජාවේ බලපෑමට ලක් කර ඇති බවද ඇය විසින් තවදුරටත් චෝදනා කලාය. එයට පිළිතුරු ලෙස එලෝන් මස්ක් විසින් මෙක්ෂිකෝවේ සිට ඇමරිකාවට පැමිණෙන සංක්‍රමණික ප්‍රජාව ස්ත්‍රී දුෂකයින්, හොරුන් හා ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන ලද්දේ ජර්මන් AFD නායිකාව විසින් පලකල සියළු කාරනා සමග ද ඍජුවම එකඟවෙමිනි.
හිට්ලර් සම්බන්ධයෙන් AFD නායිකාව වන ඇලිස් වයිඩෙල් පවසන්නේ ඔහු කොමියුනිස්ට් වාදියෙකු බවයි. යුක්රේන-රුසියා අර්බුධය ඉක්මනින්ම අවසන් කරන බවටද මෙහිදී මස්ක් වයිඩෙල් ට පොරොන්දු විය. මෙම සංවාදය අවසානයේදී එලෝන් මස්ක් රටේ සියළුම සම්ප්‍රදායික පක්ෂ අසාර්ථක වී තිබෙන නිසා ජර්මන් ජනතාවගෙන් AFD පක්ෂය වටා ඒකරාශී වන ලෙස ඉල්ලා සිටියේය. ලබන ජර්මන් මැතිවරණයේදී AFD පක්ෂය 20%ක ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි එරට මැතිවරණ නිරීක්ෂකයින් මේ අතර පෙන්වා දේ.
ජනවාරි 6 වන සඳුදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් සතියකට වැඩි කාලයකට පසු, මෙම අඟහරුවාදා, කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රතිචාර දක්වමින්, “කැනඩාව එක්සත් ජනපදයට සම්බන්ධ වීමට සුළු හෝ අවස්ථාවක්වත් නැත” යනුවෙන් සඳහන් කළේය. ඊළඟ දවසේ, කැනේඩියානු ජාතිකයෙකු ද වන එලොන් මස්ක් සුපුරුදු පරිදි ඉල්ලා අස්වන අගමැතිට කෙටියෙන් මෙසේ ප්‍රතිචාර දක්වනු ලැබුවේය :
“මගේ සොඳුරිය, ඔබ තවදුරටත් කැනඩාවේ ආණ්ඩුකාරයා නොවේ, එබැවින් ඔබ කියන දේට කිසිදු වැදගත්කමක් නැත.”යනුවෙනි. මෙම ප්‍රකාශය සමස්ථ කැනේඩියානු දේශපාලන පක්‍ෂ වල දැඩි පිළිකුලට භාජනය විණි.
ජර්මනියේ පාර්ලිමේන්තු මැතිවරණයට සති හයකට පෙර ජර්මානු අන්ත දක්ෂිණාංශිකයින්ට පක්ෂව හා බ්‍රිතාන්‍ය අගමැතිට එරෙහිව මෙන්ම යුරෝපීය රාජ්‍ය කිහිපයක දේශීය දේශපාලනය පිළිබඳ එලොන් මස්ක්ගේ මෑත කාලීන රැඩිකල් ස්ථාවරයන් ගැන ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු යුරෝපා නායකයින්ගේ ද දැඩි විවේචනයට ලක් වී ඇත.
ප්‍රංශ තානාපතිවරුන්ගේ වාර්ෂික සමුළුවේදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පැවසුවේ
” ලෝකයේ විශාලතම සමාජ ජාලයක හිමිකරු නව ප්‍රතිගාමී ජාත්‍යන්තරයකට සහාය දෙනවා පමණක් නොව සෘජුවම ඔහු යුරෝපයේ දේශපාලනයට මැදිහත් වෙමින් තිබෙනවා» යන්නයි. බදාදා, ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරට්, යුරෝපීය කොමිසමෙන් ඉල්ලා සිටියේ, විශේෂයෙන්ම එලොන් මස්ක්ගේ මැදිහත්වීම්වලට එරෙහිව හැකි උපරිම පියවර ගෙන කටයුතු කරන ලෙසයි.
එක්සත් රාජධානියේ කම්කරු පක්ෂ අගමැති කීර් ස්ටාර්මර් පැවසුවේ, ළමා අපරාධ ජාලයක් පිළිබඳ විමර්ශනවලදී තමන්ගේ නොසැලකිලිමත්කම් වීමෙන් ළමා අපරාධ කරුවෙකු ලෙස එලොන් මස්ක් විසින් සිදු කරන චෝදනා කිරීමෙන් ඔහු තම රාජ තාන්ත්‍රික “සීමාවන් ද ඉක්මවා ගොස් ඇති බවයි.
නෝර්වීජියානු අගමැති ජෝන් ගාර් ස්ටෝර් මහජන ගුවන් විදුලියට පැවසුවේ, “සමාජ මාධ්‍ය වෙත සැලකිය යුතු ප්‍රවේශයක් සහ සැලකිය යුතු ආර්ථික සම්පත් ඇති මිනිසෙකු” අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මෙතරම් සෘජුවම සම්බන්ධ වීම ගැන තමා කනස්සල්ලට පත්ව සිටින” බවයි.
තර්කානුකූලව, සියලු දෙනාගේම ඇස් මේ වන විට යුරෝපා සංගමයේ බ්‍රසල්ස් මුලස්ථානය වෙත යොමු වී ඇති අතර, එහිදී යුරෝපීය කොමිසම 2022 දී සම්මත කරන ලද රෙගුලාසියක් වන DSA (ඩිජිටල් සේවා පනත) හෙවත් අන්තර්ජාලය හරහා නීති විරෝධී අන්තර්ගතයන් පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කිරීම සහතික කළ යුතු බවට යුරෝපා මන්ත්‍රීවරුන් කොමිසමට බල කර සිටි. සමාජ ජාලා වල අන්තර්ගත ප්‍රචාරයන් හි මධ්‍යස්ථ භාවය සහ විනිවිදභාවය පිළිබඳ යුරෝපීය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නාඳුනන පුද්ගලයින්ට එරෙහිව බ්‍රසල්ස් යුරෝපා සංගම් කාර්යාලය විධිමත් පරීක්ෂණයක් දැනට ආරම්භ කර ඇත.
මේ වනවිට හංගේරියාව සහ ස්ලෝවැකියාවෙන් පසු, නැගෙනහිර යුරෝපයේ “ලිබරල් විරෝධී” අන්ත දක්ෂිණාංශික පක්ෂ බලයට පත් වීම වඩාත් උත්සන්න වීම යලි සනාථ කරමින් ඔස්ත්‍රියාවේද වාන්සල්වරයා ලෙස දක්ෂිණාංශික පක්‍ෂයක FPO නායකයෙකු වන HERBERT KICKL බලයට පත් වීමට නියමිතව ඇත. මෙම පත් වීමට එරෙහිව ඊයේ එරට පුරවැසියන් 20000ක සහභාගිත්වයෙන් යුත් දැවැන්ත පෙළපාලියක් ඔස්ට්‍රියාවේ අගනුවර වියෙනා නුවර සංවිධානය කර තිබිණි.
එලොන් මස්ක් සහ ඇලිස් වයිඩෙල් අතර “සජීවී සංවාදය” සම්බන්ධයෙන්, යුරෝපා කොමිසම සිටින්නේ ඇල්මරුනු ස්වභාවයකිනි. යුරෝපා කොමිසමේ ප්‍රතිචාරය බියගුලු ස්ථාවරයක් ලෙස ලිබරල් මාධ්‍ය සලකනු ලබයි. තාක්ෂණ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පත්කර තිබෙන කොමිසමේ විධායක උප සභාපති හෙනා වර්ක්කුනන් කිසිදු අදහසක් මේ දක්වා පළකර නැත. යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන්ද නිහඬව සිටි.
නමුත් පසුගිය දෙසැම්බරයේ රුමේනියාවේ රුසියානු පාක්ෂික ජාතිකවාදී CALIN GEORGESCU ගේ ජයග්‍රහණය සඳහා ප්‍රචාරක ජාලය පක්ෂපාතිව සිදු කල බවට ටික්ටොක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන අවස්ථාවේ ඇය මෙසේ අවධාරනය කළාය:
“අපි අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති වලට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයක විදේශීය මැදිහත්වීමකින් ඒවා ආරක්ෂා කළ යුතුයි.”
එහෙත් කොමිසමේ සභාපතිවරයා ඇමරිකාවේ එලෝන් මස්ක්ට එරෙහිව අදහස් දැක්වීමට මැලිවීමේ දරුණු නියුමෝනියාවෙන් පෙළෙන බව යුරෝපයේ ලිබරල් මුල්‍ය පුවත්පතක් වන “LES ECHOS” ඇයට උපහාසයෙන් යුතුව චෝදනා කර සිටි.
මධ්‍යස්ථවාදී යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී සැන්ඩ්‍රෝ ගෝසි විසින් එලෝන් මස්ක් ට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටී:
“මට කොමිසමේ නිල ස්ථාවරය ඇසීමට අවශ්‍ය වන්නේ කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්ඩර් ලේන්ගේ මුවින් මිස වෙනත් අයෙකුගෙන් නොවේ. ඒ වගේම මට ඇයගෙන් “ප්‍රවේශම් සහගත ප්‍රතිචාරයන්ද අවශ්‍ය නැත.” දැනටමත් එලෝන් මස්ක් ගේ අත්තනෝමතික ප්‍රකාශයන් ඉතාමත් බරපතලයි. අපගේ නීති ක්‍රියාත්මක කිරීමේදී අප බියගුලු වුවහොත් මෙය තවත් නරක අතට හැරිය හැකිය. »
කොමිසමේ කාර්ය මණ්ඩලය පවසන්නේ මෙහි ඇති සංකීර්ණත්වය සහ මෙම ආකාරයේ මැදිහත්වීම් වලට එරෙහිව ඕනෑම ක්‍රියාමාර්ගයක් නීත්‍යානුකූලව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන බවයි. එම ක්‍රමවේදයන් තුලදී යුරෝපය හා ඇමරිකාව අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවීමෙන් අන්තර් අත්ලාන්තික් සබඳතා පවා පලුදු වීමට ඉඩ ඇති බව ඔවුන් ප්‍රකාශ කරති.
කෙසේවෙතත් යුරෝපීය සංගමයේ ආනයන භාණ්ඩ සඳහා රේගු අධිභාර පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ. මේ සම්බන්ධයෙන් ඔහුගේ නව පරිපාලනයේ වැදගත් කාර්යභාරයක් සිදු කිරීමට රජයේ කාර්යක්ෂමතාව භාරව සිටින එලොන් මස්ක් වෙත පැවරීමට ඔහු තීරණය කර තිබේ. අනතුර රුසියාවෙන් හෝ චීනයෙන් පමණක් නොවන බව පෙන්වීමෙන් “එලොන් මස්ක් ව්‍යාපෘතියක් ලෙස යුරෝපා සංගමයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇත,” යයි යුරෝපා කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ නිර්නාමිකවය.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී, ඇමරිකාවේ අනාගත උප ජනාධිපති JD වැන්ස් පැවසුවේ යුරෝපා සංගමය විසින් X ජාලය පාලනය කිරීමට උත්සාහ කළහොත්, ඇමරිකා එක්සත් ජනපදය විසින් නේටෝ වට දක්වන සහයෝගය ඉවත් කර ගත හැකි බවයි. මස්ක්-ජර්මන් AFD විවාදය තවදුරටත් සංකීර්ණ කිරීම සඳහා, අන්ත දක්ෂිණාංශික ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි තම රජයට ආරක්ෂිත විදුලි සංදේශ සේවා සැපයීම සඳහා SpaceX සමඟ සාකච්ඡා කරමින් සිටින අතර ඇය එලෝන් මස්ක් ආරක්ෂා කර ගැනීමට ද ඉදිරිපත් වී ඇත. ඇය පවසන්නේ එලෝන් මස්ක් ට එරෙහිව යුරෝපා නායකයින්ගේ ප්‍රහාරය හුදු ලිබරල් දක්ෂිණාංශික ප්‍රහාරයක් පමණක් බවයි.
කෙසේ වෙතත් ස්පාඤ්ඤ සමාජවාදී අගමැති පේද්‍රෝ සැන්චෙස් බදාදා, X හිමිකරු එලොන් මස්ක් සම්බන්ධයෙන් පැවසුවේ ඔහු “ප්‍රජාතන්ත්‍ර වාදී ආයතනවලට විවෘතව පහර දෙන” සහ “වෛරය ඇවිස්සෙන” ප්‍රකාශ නිකුත් කරන්නෙකු බවට චෝදනා කරමිනි. ඒකාධිපති ෆ්‍රැන්කෝගේ මරණයේ 50 වන සංවත්සරය නිමිත්තෙන් මාධ්‍ය ඇමතු අගමැතිවරයා ලෝකය පුරා සිදුවෙමින් පවතින ෆැසිස්ට්වාදයේ නැවත නැඟිටීමට එරෙහිව අනතුරු ඇඟවීය.
“ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් දින කිහිපයකට පෙර පැවසූ පරිදි පෘථිවියේ ධනවත්ම මිනිසාගේ නායකත්වයෙන් යුත් ප්‍රතිගාමී ජාත්‍යන්තරය, අපගේ ප්‍රජාතන්ත්‍ර වාදී ආයතනවලට විවෘතව පහර දෙයි, වෛරය අවුස්සයි සහ ඔහු විවෘතව ඉල්ලා සිටින්නේ” ජර්මනියේ නාසිවාදයේ උරුමක්කාරයින්ට සහාය දෙන ලෙසයි. ව්‍යාජ ප්‍රවෘත්ති වලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන සියලු දෙනාම ඒකරාශී විය යුතුයි. ලෝකයෙන් අඩක් තුළ පැසිස්ට් වාදී ඒකාධිපති පාලන තන්ත්‍ර ඉදිරියට එමින් තිබෙනවා. අපි විසින්ම අවසන් වී ඇතැයි සිතූ නග්න ෆැසිස්ට්වාදය දැනටමත් යුරෝපයේ තුන්වන දේශපාලන බලවේග බවට පත් වෙමින් තිබෙනවා. ෆැසිස්ට්වාදය පරාජය කිරීම සඳහා ලෝකයේ සියළු ප්‍රගතිශීලි බලවේග වලට මා ආරාධනා කරනවා” යයි ඔහු අවසන් වශයෙන් සඳහන් කර සිටියේය.










