පසුගිය නොවැම්බර් පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් ලබා ගත් සෙනෙගාල තරුණ දේශප්‍රේමී පක්‍ෂය වන PASTEF හි ජනාධිපති BASSIROU FAYE ප්‍රංශ මාධ්‍ය අමතමින් පසුගිය සතියේ බදාදා ප්‍රකාශ කර සිටියේ එරට රඳවා තිබෙන ප්‍රංශ හමුදා වහා ඉවත් කර ගන්නා ලෙස තමන් ප්‍රංශ ජනාධිපති මක්රෝන් හට දැනුම් දුන් බවයි. සෙනෙගාල ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීමෙන් පැය කිහිපයක් ගත වීමටත් පෙර අප්‍රිකාවේ තවත් රටක් වන චැඩ් රාජ්‍යය ද තම රට තුල රඳවා සිටින ප්‍රංශ හමුදා ද ඉවත් කර ගන්නා ලෙස ප්‍රංශ පාලකයන්ට දැනුම් දුන්නේය. මීට පෙර බුර්කිනා පාසෝ, නයිජර්, මාලි ඇතුළු හමුදා පාලනයට නතුව ඇති අප්‍රිකානු-සහෙල් රටවල ඉල්ලීම මත රඳවා සිටි ප්‍රංශ හමුදා ඉවත් කර ගන්නා ලදී. ඒ අනුව 2024 වසර ප්‍රංශ හමුදා සඳහා වඩා යහපත් පරිසරයක් නිර්මාණය සිදු කර නොමැති අතර මෙම රටවල් ඉතා වේගයෙන් රුසියාව, චීනය හා ඉන්දියාව වෙත ඇදී යමින් පවතින බව ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයින් මේ අතර පෙන්වා දේ.
දෙවන ලෝක යුධ සමයේදී එනම් 1944 දී සෙනෙගාලයේ රඳවා සිටි ප්‍රංශ හමුදාව විසින් තමන් සමග සටන් කල සෙනෙගාල හමුදා සොල්දාදුවන් සිය ගණනක් තම වැටුප් ඉල්ලා සිදු කරන ලද උද්ඝෝෂණයක් මැඩ ලීම සඳහා සිදුකල සංහාරය සැමරීම මතක් කරමින් සෙනෙගාල ජනාධිපති BASSIROU FAYE සඳහන් කලේ මෙම තිරස්ථින ඝාතණය පිළිගනිමින් හා ඔවුන්ගේ පවුල්වලට ප්‍රංශය වන්දි ගෙවිය යුතු බවයි. එසේම මෙම සංහාරය සම්බන්ධයෙන් ප්‍රංශය සමාව ඉල්ලා සිටිය යුතු බවටත් බල කර සිටියේ එවැනි සංහාරයක් සිදු නොවූ බවට වන ප්‍රංශ ස්ථාවරය අවසන් කල යුතු බවයි.
“විදේශීය හමුදාවක් වෙනත් රටක පැලපදියම් වුවහොත් ඒ රටේ ගෞරවයට, භෞමික අඛණ්ඩතාවයට, සෛවරිභාවයට සිදු වන්නේ කුමක්ද? සෙනෙගාලය නිදහස් සෛවරී රටක්. අපේ සෛවරීභාවය සම්පුර්ණ වනුයේ විදේශ හමුදා වලින් තොර වූ රාජ්‍යයක් බවට සෙනෙගාලය පත් වුවහොත් පමණයි” යයි ජනාධිපති BASSIROU FAYE වැඩි දුරටත් සදහන් කර සිටියේය.
සෙනෙගාල ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග නොවැම්බර් 28, බ්‍රහස්පතින්දා සවස ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානී Jean-Noël Barrot ගේ සංචාරයකින් පැය කිහිපයකට පසු, අප්‍රිකාවේ චැඩ් රාජ්‍යයයේ ජනාධිපති MAHAMAL IDRISS ද ප්‍රකාශ කළේ ප්‍රංශය සමඟ අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගීතා ගිවිසුම අවසන් කරන බවයි. චැඩ් යනු අප්‍රිකානු-සහේල්හි අවසන් ප්‍රංශ හමුදා නැංගුරම් ලක්ෂ්‍යය වූ අතර වඩාත් පුළුල් ලෙස අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රංශ හමුදා පැවැත්මේ ප්‍රධාන සම්බන්ධිකාරක ලක්‍ෂය ද මේ දක්වා නිරූපනය කරනු ලබයි. චැඩ් හි මෙම ඒකපාර්ශ්වික තීරණයත් සමග ප්‍රංශය විසින් අප්‍රිකාවේ සිදු කරමින් සිටි සියළු යුධ උපාය මාර්ගය අවුල් කරනු ලැබ ඇත.
චැඩ් රාජ්‍යයේ නිවේදනය ප්‍රංශයට භූමිකම්පාවක් බව හමුදා විශේඥයයන් මේ අතර පවසා සිටි. ප්‍රංශයට අප්‍රිකාවේ රැඳී සිටීමට අවශ්‍ය නම් ඒ සඳහා සැබෑ හවුල්කාරිත්වයක් අවශ්‍ය වේ යයි දේශපාලන විද්‍යාව පිළිබඳ වෛද්‍ය සහ නාවික හමුදාවේ හිටපු ප්‍රංශ හමුදාවේ හිටපු කර්නල් පීර් ද ජොං අවධාරනය කරයි.
“අපි එය හඳුන්වන්නේ ‘සහ-සහයෝගීතාව’ ලෙසයි. සාකච්ඡා සහ ඉදිරිපත් කිරීම් වලදී භාවිතා කරන ලද යෙදුම මෙයයි. සාමාන්‍යයෙන් අප්‍රිකානු රාජ්‍යයන් ප්‍රංශ හමුදා පැමිණීමකට දැඩි ප්‍රතිරෝධයක් දක්වන්නේ නෑ. නමුත් ඔවුන්ට මේ දක්වා පැවැති ආකෘතියට අනුගත වීමට තවදුරටත් අවශ්‍ය නෑ කියලා තමා ඔවුන් අද එක හඬින් පවසා සිටින්නේ. ඔවුන් ඉල්ලා සිටින්නේ වඩා යහපත් සහෝදරත්වයෙන් යුත් අඩු දේශන සහිත සැබෑ හවුල්කාරිත්වයක අවශ්‍යතාවය. අපි සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. ඊට අමතරව අප්‍රිකානු රාජ්‍යයන්ගේ ස්වෛරීභාවයේ අවශ්‍යතාවය පිළිබඳව කනස්සල්ල පළ කරන අප්‍රිකානු නායකයින් ගේ ප්‍රාර්ථනාව මෙය නම් අපට තවදුරටත් අප්‍රිකාවේ අපට අවශ්‍ය දේ කළ නොහැක, ඒවා අවසාන කිරීමට අප දැන් සුදානම් විය යුතුයි! » යයි පවසා සිටියේය.
විශේෂයෙන් ප්‍රංශ හමුදාව වැඩිපුරම බාහිර මෙහෙයුම් සිදු කර ඇති රාජ්‍යය වනුයේ චැඩ් රාජ්‍යය වේ. චැඩ් තුල පමණක් පිහිටුවා ඇති අපකීර්තිමත් කඳවුරු තුනක් ලෙස සැලකෙන Kosseï, Faya Largeau Abéché අප්‍රිකානු මහජන මතය විසින් බොහෝ විවේචනයට ලක් කරනුයේ ප්‍රංශ නව යටත් විජිත වාදයේ සංකේත ලෙස හඳුන් වමිනි. අප්‍රිකාවේ සිදුවන සෑම දේශපාලන, හමුදා පෙරලි වලදී ප්‍රංශ හමුදා පැමිණෙන්නේ චැඩ් රාජ්‍යයයෙන් බව අප්‍රිකානු ජනතාවගේ මතයයි. මීට අමතරව අප්‍රිකාවේ රටවල් වන අයිවරි කෝස්ට් හීත්, ගැබොන් හා ජිබුටි හීත් ප්‍රංශ හමුදා රඳවා ඇත.
2014 සිට ඉස්ලාම් අන්තවාදය අවසන් කිරීමට කියා පැමිණි ප්‍රංශ හමුදා ඉවත් කර ගන්නා ලෙස බුර්කිනා, මාලි හා නයිජර් රාජ්‍යයන් ප්‍රංශයට දැනුම් දෙනු ලැබූ අතර මෙම රටවල් රුසියානු බලපෑමට ලක් වී ඇතැයි පසුව ප්‍රංශය චෝදනා කළේය. ප්‍රංශය හා රුසියාව අතර යුක්රේනය සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රතිවිරුද්ධ තාවයක් ඇති වී ඇත්තේ ද ඉන් පසුවය.
ගෑස්, ඛණිජ තෙල්, මැණික්, රත්‍රං, යුරානියම්, මිනිරන්, කොබෝල්ට්, දියමන්ති හා දැව ඇතුළු විවිධ ආර්ථික සම්පත් රැසකට උරුමකම් කියන අප්‍රිකාව සම්බන්ධයෙන් උග්‍ර වෙළඳ තරඟයක් යුරෝපීය සංගමය, ඇමරිකාව, චීනය හා රුසියාව මෙන්ම ඉන්දියාව අතරද උත්සන්න වී ඇත. එසේම යුරෝපා සංගමය තුළ පවා ස්පාඤ්ඤය, ඉතාලිය, පෝලන්තය සහ අප්‍රිකාවේ සිටින ජර්මානුවන් හා ප්‍රන්සුවන් වෙතින් ද අප්‍රිකානු වෙළඳ පල අරබයා දැඩි තරඟයක් පවතී.
මෙම තරඟය තුල සෙනගාල ජනාධිපති BASSIROU FAYE පවසන්නේ තම රට ලෝකයේ සියළුම රටවල් සමග වෙළඳ ආර්ථික හා රාජතාන්ත්‍රික සම්බන්ධකම් පැවැත්වීමට සුදානම් බවයි. ඔහු එසේ පැවසුවේ චීනය හා රුසියාව ඇමරිකාව ද සඳහන් කරමින් සෙනෙගාලය දියුණු කිරීම සඳහා පැමිණෙන ලෝකයේ සියලු රටවල ආයෝජන පිළිගන්නා බවට සහතික කරමිනි.
අප්‍රිකාව යනු වගා කළ හැකි ඉඩම්, ජලය, තෙල්, ස්වාභාවික වායු, ඛනිජ සම්පත්, වනාන්තර සහ වනජීවී ඇතුළු අතිවිශාල ස්වභාවික සම්පත් ඇති කලාපයකි. අප්‍රිකානු මහාද්වීපයේ පුනර්ජනනීය හා පුනර්ජනනීය නොවන ලෝකයේ ස්වභාවික සම්පත්වලින් විශාල ප්‍රමාණයකට නිවහන ලෙස සැලකේ. ගෝලීය වශයෙන්, අප්‍රිකාව ලෝක ඛනිජ සම්පත් සංචිතවලින් දළ වශයෙන් 30% ක් නියෝජනය කරනු ලබන අතර ස්වාභාවික වායුවලින් 8% ක් සහ තෙල් සංචිතවලින් 12% කට ද හිමිකම් කියනු ලැබේ. අප්‍රිකානු මහාද්වීපයට ලෝක රත්‍රන් වලින් 40% ක් සහ ක්‍රෝම් සහ ප්ලැටිනම් සංචිතවලින් 90% කට ආසන්න ප්‍රමාණයක් ද අයිති වේ. ලොව විශාලතම කොබෝල්ට්, දියමන්ති, ප්ලැටිනම් සහ යුරේනියම් සංචිත ඇත්තේ ද අප්‍රිකාවේ ය. එසේම ගෝලීය පරිමාණයෙන් වගා කළ හැකි ඉඩම්වලින් 65% ක් සහ මහාද්වීපික පුනර්ජනනීය මිරිදිය ප්‍රභවයන්ගෙන් 10% ක් අප්‍රිකානු මහද්වීපය සංකේන්ද්‍රණය කර ගෙන ඇත.
බොහෝ අප්‍රිකානු රටවල ජාතික ධනයෙන් 30ත් 50%ත් අතර ප්‍රමාණයක් ස්වභාවික ප්‍රාග්ධනය නියෝජනය කරයි. උප සහරා අප්‍රිකාවේ වෙසෙන මිනිසුන්ගෙන් 70% කට වඩා වැඩි පිරිසකගේ ජීවනෝපාය වනාන්තර සහ දැව විකිණීම මත රඳා පවතී. ඉඩම් ආර්ථික සංවර්ධනය සඳහා සම්පතක් වන අතර එය සමාජ-සංස්කෘතික සම්පතකි. කෙසේ වෙතත්, මෙම සම්පත් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් තිරසාර ලෙස සූරාකෑමට ලක් වන අතර අනෙකුත් සම්පත් නීති විරෝධී ක්‍රියාකාරකම් නිසා ද අප්‍රිකාවට අහිමි වේ. නිදසුනක් වශයෙන්, නීතිවිරෝධී මූල්‍ය ප්‍රවාහ, නීති විරෝධී පතල් කැණීම්, නීති විරෝධී දැව කැපීම, නීති විරෝධී වෙළෙඳ වන සතුන්, නියාමනය නොකළ මසුන් ඇල්ලීම සහ පාරිසරික සුරාකෑම් සහ වන විනාශය හේතුවෙන් ද අප්‍රිකාවට හා එහි වෙසෙන ජනතාවට වසරකට එහි ස්වාභාවික ප්‍රාග්ධනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 195ක් අහිමි වේ.
අද වන විට රටවල් 22 ක් 60%GDB ණය උවදුරුවලට ගොදුරු වීමේ ඉහළ අවදානමක හෝ දැනටමත් එයට ළඟා වී ඇති බව ලෝක බැංකුව 2023 අප්‍රේල් මාස නිකුත් කල වාර්තාවක සඳහන් වේ. ඒ අතරින් ණය පැහැර හැර ඇති ඝානාව සහ සැම්බියාව මෙන්ම මලාවි සහ චැඩ් රාජ්‍යයද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) ණය ගිවිසුම් මත රැඳී පවතී. 2024 දී, අප්‍රිකාවේ රාජ්‍ය නය ප්‍රමාණය ඩොලර් බිලියන 1800ක් හෙවත් ට්‍රිලියන 1.8 (එකල යුරෝ ට්‍රිලියන 1.7කට ආසන්න) වෙත ළඟා වනු ඇත, 2010 සිට අප්‍රිකානු මහාද්වීපයේ ණය ප්‍රතිශතයක් ලෙස 183% GDB දක්වා වැඩි වී ඇත. එසේම අප්‍රිකාවේ මිලියන 400කට ආසන්න ජනතාවක් අන්ත දරිද්‍රතාවයේ ජීවත් වනුයේ විශාල ආර්ථික සම්පත් ප්‍රමාණයක් ද තමන් සතුව තබා ගනිමින්ය.










