බ්‍රසීලයේ රියෝ හි පැවැත් වූ G20 සමුළුවේ පරිසර හිතකාමී යෝජනා නෑ !

බ්‍රසීලයේ රියෝ හි පැවැත් වූ G20 සමුළුවේ පරිසර හිතකාමී යෝජනා නෑ !

මෙවර ආර්ථික වශයෙන් වඩාත් දියුණු රටවල් 20කින් සැදුම් ලත් ජාත්‍යන්තර G20 සංවිධානයේ සමුළුව පවත්වනු ලැබුවේ බ්‍රසීලයේ රියෝ අගනුවර දී වූ අතර එම කණ්ඩායමේ ප්‍රධාන රටක් වන රුසියානු ජනාධිපති පුටින් ඒ සඳහා සහභාගී වී සිටියේ නැත. එසේම ඇනහිට ඇති COP29 සාකච්ඡා හා සමානව G20 සමුළුවේ අවසාන ප්‍රකාශණය තුළ දේශගුණය සඳහා වැඩි අවධාණයක් නොතිබීම මෙන්ම පොසිල ඉන්ධනවලින් ඈත් වීම සඳහා යෝජනා කිසිවක් අඩංගු නොවීම බලාපොරොත්තු සුන් කරවන සුළු බව පරිසර සංවිධාන මේ අතර පෙන්වා දේ. නොවැම්බර් 18 දා අසර්බයිජානයේ බකූ හි අවසන් වූ පරිසර සමුළුව වූ COP29 හි සාකච්ඡා අඩාල වූ විට G20 සමුළුව මගින් හෝ පෘථිවියේ ආරක්ෂකයින්ට යම් සහන දායි තීරණයක් සම්මත කර ගනු ඇතැයි අපේක්ෂා කලද G20 සමුළුව අවසන් වූයේ නිවට ප්‍රකාශයකින් බව පවසමින් ජාත්‍යන්තර පරිසර සංවිධාන තම කණස්සල්ල පල කර සිටිති.

පසුගිය නොවැම්බර් 18දා අසර්බයිජානයේ බකු නුවර දී මුළු දුන් පරිසරය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුබද්ධ සමුළුවේදී අවධාරණය කරනු ලැබුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල පරිසරය රැකීමේ ව්‍යපෘති සඳහා ඩොලර් බිලියන 1000ක් වෙන් කළ යුතු බවයි. මෙම මුදල් එම රටවල් වල සූර්ය බල ශක්තිය පුනර්ජීවනය, වාරි මාර්ග නවීකරණය සඳහා මෙන්ම හදිසි ආපදා මැඩ පැවැත්වීමට වෙන් කල යුතු බවට එම සමුළුව බල කර සිටියේය. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසරය පිලිබඳ විධායක ලේකම් SIMON STIEL පැවසුවේ ලෝක බලවතුන් බොරු විගඩම් නවත්වා පරිසරය සම්බන්ධයෙන් අවංක විය යුතු යයි කියා සිටියේ කෝපයෙනි.

මෙම ඩොලර් බිලියන 1000 සොයා ගැනීම සඳහා ප්‍රංශය, කෙන්යාව හා බර්බාඩ් රාජ්‍යයන් විසින් ලෝක ධනවතුන් සඳහා බදු අයකිරීම විසඳුමක් ලෙස 2023 දී ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව බකු COP29 සමුළුවේදී මෙම මුදල සොයා ගැනීම සඳහා පොසිල ඉන්ධන නිපදවන්නන්, මුල්‍ය වෙළඳ ගණුදෙනු,කරුවන්, ප්ලාස්ටික් නිෂ්පාදක සමාගම්, නාවික හා ගුවන් සමාගම්, ක්‍රිප්ටෝ ආයතන සඳහා බදු ගැසීමෙන් සොයා ගත හැකි බවට යෝජනාවක් සම්මත කර ඉදිරිපත් කරන ලදී. එහෙත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ජෝ බයිඩන් 2024 නොවැම්බර් 18 වන දින බ්‍රසීලයේ රියෝ හි පැවති G20 සමුළුවේ දී හමු වුනත් මෙම COP 29 යෝජනාව පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වා තිබුනේ නැත.

නොවැම්බර් 19 වන අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ දේශගුණය පිළිබඳ ප්‍රධානී සයිමන් ස්ටයිල් විසින් ඉදිරිපත් කල දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ධනවත් රටවල් ඉදිරි වසර පහ තුළ දුප්පත් රටවලට කොපමණ මුදලක් ගෙවන්නේද යන්න පිළිබඳව සිකුරාදා වන විට හෝ එකඟතාවයකට පැමිණිය යුතු බවට බල කර සිටියද සඳුදා බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි විවෘත වූ G20 දේශගුණය පිළිබඳ සැලකිය යුතු ප්‍රගතියක් නොමැතිව අඟහරුවාදා අවසන් විය. පෘථිවියේ විශාලතම ආර්ථිකයන්හි මෙම COP 29 යෝජනා සැලකිය යුතු ලෙස ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කලද G20 නායකයින් සරලව ඉල්ලා සිටියේ “සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික ගැටළු සඳහා රාජ්‍ය සහ පුද්ගලික ආයෝජන වැඩි කල යුතු බවයි.

මේ සම්බන්ධයෙන් දේශගුණය හා පරිසරය පිලිබඳ රාජ්‍ය නොවන සංවිධානවල කනගාටුවට හේතු වී ඇත්තේ මෙම ප්‍රකාශය ආකර්ශනීය හෝ අලුත් දෙයක් නොවන බව යලි යලිත් පෙන්වා දෙමිනි. GREENPEACE, FREINDSOFEARTH සහ RECLAIM FINNANCE ඇතුළු ප්‍රංශ දේශගුණික සංගම් තිහක් පමණ එකට එක් කරන RESAU ACTION CLIMATE ඒකාබද්ධ සංවිධානය පවසන්නේ “දේශගුණික ගැටළු සඳහා වූ හදිසි මැදිහත් වීම වෙන කවරදාටත් වඩා ප්‍රබලව දැනෙන වර්තමානයේ ඒ සම්බන්ධයෙන් G 20 හි නිහැඬියාව අතිශයින් තැති ගන්නා සුළු බවයි. “දේශගුණික ගැටළු සඳහා යථාර්ථ වාදී දේශපාලන සංඥාවක්” යැවීමට නම්, යම් මුදලක් හෝ මූල්‍යකරණයේ ස්ථිර ක්‍රම වේදයක් තීරණය කිරීම අත්‍යවශ්‍ය බව එම පරිසර සංවිධාන එක හඬින් පවසා සිටි.

“බලාත්මක කාලසටහනක්, නිශ්චිත මූල්‍ය ප්‍රාග්ධනයක් හෝ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ නොමැති විට, මෙම ප්‍රකාශයන් හුදු වචන ලෙස පවතිනවා විනා ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ අභිලාෂයන් ලෙස නො සැලකීමේ අවදානමක් තිබෙනවා,” යයි ආර්ජන්ටිනාවේ පරිසරය සහ මානව හිමිකම් සඳහා වන අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ඔස්කාර් සෝරියාද අවධාරණය කළේය.

G20 කණ්ඩායමේ අවසන් ප්‍රකාශනය තුල පොසිල ඉන්ධනවලින් ඉවත් වීම සහ පුනර්ජනනීය බලශක්තිය තුන් ගුණයකින් වැඩි කිරීම පිලිබඳ යෝජනාද ඇතුළත් කර නැත. එය පසුගිය වසරේ ඩුබායි හි COP28 අතරතුර පරිසර වේදීන් තදින් ඉල්ලා සිටි යෝජනාවකි. තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආයතනයේ (Iddri) ව්‍යාපෘති කළමනාකාරිනී, Céline Kauffmann අවධාරණය කරන්නේ, “G20 රටවල් විශාලතම හරිත ගෑස් විමෝචකයින් වීම නිසා එය වඩාත් බලාපොරොත්තු සුන් කරවන සුළු බවය. G20 (රටවල් 19 හා යුරෝපා සංගමය සහ අප්‍රිකානු සංගමය) සාමාජිකයන් පරිසරයට හරිතාගාර වායු විමෝචනයෙන් 80%ක් නියෝජනය කරනු ලබන අතර ලෝක දල ජාතික නිෂ්පාදනයෙන් 85%GDB නියෝජනයද කරනු ලබයි.

කෙසේවෙතත් G20 කණ්ඩායමේ සමුළුව මුලික වශයෙන් යුක්රේන-රුසියා ගැටුම හා ගාසා හා ලෙබනයහි ඊශ්‍රාල් ආක්‍රමනය පිලිබඳ කතා බහට පමණක් අවසානයේ සීමා වී තිබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරේස් විසින් පරිසරය සම්බන්ධව කුඩා හෝ සම්මුතියක් සම්මත කර ගන්නා ලෙස රාජ්‍ය නායකයින්ට අවධාරණය කර සිටියේය.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමුළුව අමතමින් යුක්රේනයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබූ අතර අවසාන ප්‍රකාශණය තුළ රුසියාව හෙලා දැකීමේ ඇමරිකානු යෝජනාව පරාජය වූ අතර යුද්ධයට මැදිහත් වී ඇති පාර්ශව දෙක අතර සාමය සඳහා වූ සියළුම උත්සාහයන් අගය කරමින් යෝජනාවක් අඩංගු වී තිබිණි. මෙම සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් සහභාගී නොවුයේ ඔහුට විරුද්ධව ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය විසින් යවා තිබෙන වරන්තුව නිසාවෙනි. එසේම G20 සමුළුව ගාසා හා ලෙබනනය තුල යුධ ගැටුම් අවසන් කිරීම සඳහා සටන් විරාමයක්ද ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා විසින් සමුළුවට ලෝක දරිද්‍රතාවය හා කුසගින්නට එරෙහිව ජාත්‍යන්තර බැංකුවක් පිහිටුවා ගැනීම සඳහා වූ යෝජනාවක් සම්මත කර ගැනීමට සමත් වූ අතර බ්‍රසීල යෝජනාව සාක්ෂාත් කර ගැනීම සඳහා ධනවතුන්ට වැඩියෙන් බදු අයකර ගැනීමේ කොන්දේසියටද සමුළුවේ බහුතර රාජ්‍ය නායකයින්ගේ සහය ලැබිණි. මෙම නව බැංකුව සඳහා ඇමරිකාව විසින් ඩොලර් බිලියන 4ක් වහා ලබා දුන්නේය. ලූලාගේ යෝජනාවට ආර්ථිකය සඳහා රජයේ සියළු මැදිහත් වීම් අවසන් කිරීම වෙනුවෙන් ඍජුවම පෙනිසිටිමින් එරට රාජ්‍ය ආයතන 43ක් විකිණීම සඳහා තබා තිබෙන අන්ත දක්ෂිණාංශික ආර්ජන්ටිනානු ජනාධිපති ජාවියර් මිලෙයි විසින් සමුළුව තුළදී තදින් තම විරෝධය පල කරනු ලැබුවේය. දැඩි ආරක්ෂණ වාදී ආර්ථික ප්‍රතිපත්තියක් මත ක්‍රියා කරන ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රබල හිතවෙතකු ලෙස පෙනී වන අන්ත ලිබරල් වාදියෙකු වන මිලෙයි හා ජාතික වාදී ට්‍රම්ප් අතර සම්බන්ධය විහිළුවක් බව ආර්ථික විශේඥයයින් මේ අතර පෙන්වා දෙන්නේ එය යාදෙක නොරත රථ පන්නයේ සහයෝගිතාවයක් ලෙස උපහාසයට ලක් කරමිනි.

Facebook
Twitter
LinkedIn