සුළි කුණාටුවෙන් පීඩාවට පත් කියුබාවට ඩීසල් ඉන්ධන සැපයීමට රුසියාව සූදානම් බව රුසියානු බල ශක්ති අමාත්‍යංශ අමාත්‍යවරයා පවසයි. කියුබාවේ බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා ඩොලර් මිලියන 60 ක් වටිනා ඩීසල් ඉන්ධන ටොන් 80,000 ක් සැපයීමට රුසියාව පොරොන්දු වී ඇති බව රුසියානු නියෝජ්‍ය අගමැති දිමිත්‍රි චර්නිෂෙන්කෝ උපුටා දක්වමින් රුසියානු පුවත් ඒජන්සිය සිකුරාදා වාර්තා කළේය. රෆායෙල් සුළි කුණාටුව පැයට සැතපුම් 115 ට වැඩි සුළං සමඟ දිවයින හරහා ගමන් කිරීම නිසා කියුබාවේ විදුලිබල පද්ධතිය බදාදා කඩා වැටුණු අතර ගොවි බිම් හෙක්ටයාර් 10000ක් සම්පුර්ණයෙන් විනාශ වීම නිසා කැරබියන් දිවයින මේ වන විට දැවැන්ත ආර්ථික අර්බුධයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.
පසුගිය ඔක්තෝම්බර් 20 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 187ක් කියුබාවට එරෙහිව ඇමරිකාව 1962 සිට පනවා ඇති ආර්ථික, වෙළඳ හා මුල්‍ය සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහ. ඇමරිකාව හා ඊශ්‍රාලය පමණක් එයට විරුද්ධව චන්දය ලබා දුන් අතර මොල්දාවිය හා යුක්රේනය පමණක් චන්දය දීමෙන් වැලකී සිටි අතර යෝජනාවට පක්ෂව චන්දය ලබා දුන් ආර්ජන්ටිනාවේ විදේශ ඇමති GERADO WERTHEINව එරට පත් වී ඇති නව ජනාධිපති අන්ත දක්ෂිණාංශික JAVIER MILLEI විසින් ධූරයෙන් ඉවත් කර තිබිණි.
කෙසේ වෙතත් කියුබාව යනු නොකඩවා සුළි කුණාටු වලට මුහුණ දෙන රටක් නිසා එහි ප්‍රධාන ප්‍රථිපලයක් ලෙස ඇතිවන බල ශක්ති අර්බුධයට ද දැඩිව මුහුණ දෙන රාජ්‍යයකි. එරට විදුලිය නිපදවා ගන්නා තාප ඉන්ධන බලාගාර අට ක්‍රියාත්මක වනුයේ පොසිල ඉන්ධන මගිනි. රටට එරෙහිව පනවා තිබෙන ඇමරිකානු ආර්ථික සම්බාධක නිසා මෙම බලාගාර නඩත්තුව සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය, උපාංග හා අළුත් වැඩියා කිරීම් සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබා ගැනීමට ඇති අපහසුව නිසා කියුබාවේ විදුලි බලාගාර පවතිනුයේ අතිශයින්ම දුර්වල ස්ථානයකය.
2023 එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කල වාර්තාවක් මගින්ද කියුබාවට ඛනිජ තෙල් හා ගෑස් ඇතුළු අනෙකුත් බලශක්ති අමුද්‍රව්‍ය ලබා ගැනීමට ඇති නොහැකියාව ඍජුවම ඇමරිකන් සම්බාධක නිසා ඇතිවී තිබෙන බව අවධාරණය කර තිබේ. ඇමරිකාව විසින් කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් එරටට වසරකට අහිමි වන ආදායම පමණක් ඩොලර් බිලියන 5ක් ලෙස ගණන් බලා ඇත. 1962 සිට මේ දක්වා එරටට ඒ අනුව ඩොලර් බිලියන 165ක් අහිමි වී ඇත.
1960 දී ඇමරිකානු ජනාධිපති අයිසන් හවර් කියුබාවට එරෙහිව සම්බාධක පැනවුයේ ඇමරිකානු සමාගම් හා ඉඩම් කියුබානු සමාජවාදී රජය විසින් ජනසතු කල බවට චෝදනා කරමිනි. 1962 දී කෙනඩි විසින් සම්බාධක පැනවුයේ සෝවියට් දේශය සමග සම්බන්ධකම් පවත්වනු බව පවසමිනි. 1970-1980 දක්වා කාලය තුල එම සම්බාධක පවත්වා ගෙන ගියේ කියුබාව ලොව විමුක්ති සංවිධාන වලට සහය දෙන බවට චෝදනා කරමිනි. 1990 සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍ර වාදය නැති බවට පවසමින් සම්බාධක පනවනු ලැබිණි. ඔබාමා යුගයේදී 20%ක් පමණ සම්බාධක ඉවත් කලද ට්‍රම්ප් ගේ කාලය තුල දී එම පහසුකම්ද යලි අවලංගු කරනු ලැබිණි.
ඒ අනුව ට්‍රම්ප් ගේ දෙවන ආගමනය තුල යලිත් වරක් මෙම සම්බාධක යලි සක්‍රිය වීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. එහෙත් මෙම ධූර කාලයෙන් පසුව ඔහුට නැවත පත්වීමේ හැකියාවද අවසන් වන නිසා ඇමරිකාවේ මියාමි කලාපයේ ජිවත්වන කියුබන් චන්ද ඔහුට යලි වැදගත් වේ ද යන්න සලක බැලීමේදී කියුබාව සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය මදක් වෙනස් වීමටද පුළුවන. එසේම ට්‍රම්ප් උතුරු කොරියාව හා රුසියාව සමගද සමීප සම්බන්ධතා පවත් වනු ලබයි.
ට්‍රම්ප්ගේ පළමු ධූර කාලයේදී ඔහු විසින් කියුබාවට එරෙහිව සම්බාධක 243ක් යලි පනවන ලදී. ට්‍රම්ප් පාලනය විසින් මෙම සම්බාධක මගින් කියුබාව හා ජාත්‍යන්තරය අතර සිදුකරන වෛද්‍යය හා සෞඛ්‍ය සේවයට, ඩයස් පොරා මුදල්, හා සංචාරක කර්මාන්තයට ඍජුවම ඉලක්ක කර බාධා පමුණුවන ලදී. ඉන් පසුව ඔහුගේ ධූර කාලය අවසන් වන විට කියුබාව ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන රටක් ලෙස සලකා ලැයිස්තු ගත කරන ලදී. එතැන් සිට ලොව මුල්‍ය හා වෙළඳ බැංකු 1000ක් කියුබාව සමග සම්බන්ධකම් අත් හරිනු ලැබුවේ එරටට ණය හා මුල්‍ය පහසුකම් ලබා ගැනීමට නොහැකි වන පරිදිය.
බයිඩන් රජය විසින් මෙම සම්බාධක ඉවත් කිරීමක් සිදු නොකළ නිසා යලි බලයට පත් වන ට්‍රම්ප් පාලනය කුමන පියවරක් ගනු ලැබතැයි කිව නොහැක. එය මේ වන විට ලෝකය තුල ඇති වී තිබෙන විවිධ බල කේන්ද්‍රයන් මත රඳා පවතීන බව වඩාත් හොඳින් නිරීක්ෂණය වනුයේ කියුබාවේ බල ශක්ති අර්බුධය විසඳීම සඳහා රුසියාව ඉදිරිපත් වීම තුලය. මීට පෙර ජූනි 12-17 වන කාලය තුලදී රුසියානු යුධ නෞකා 2ක් කියුබාව වෙත පැමිණියේ යුක්රේනයට දිගු දුර සුපර්සොනික් මිසයිල ලබා දුනහොත් ඇමරිකන් හා බටහිර විරෝධී රටවල් වලට හා සංවිධාන සඳහා යුධ ආධාර ලබා දෙන බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් විසින් තර්ජනය කර පැය 48ක් යාමටත් පෙරය.
“රුසියානු ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව අනුමත කරන ලද මුදලට – ඩොලර් මිලියන 60 කට ආසන්න වශයෙන් ඩීසල් ඉන්ධන ටොන් 80,000 ක් සැපයීම ඇතුළුව බලශක්ති ක්ෂේත්‍රයේ වර්තමාන තත්වය විසඳීම සඳහා කියුබාවට හදිසි ආධාර ලබා දීමට රුසියාව සූදානම්ය,”යයි රුසියානු බලශක්ති අමාත්‍ය Chernyshenko ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා සිටියේය.
බ්‍රහස්පතින්දා කියුබානු ප්‍රාදේශීය බලධාරීන් පැවසුවේ දිවයිනේ නැගෙනහිර අර්ධයට විදුලිය යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර ඇති බවයි. සුළු කුණාටුවට පෙර වෙනත් අබිරහස් ක්‍රියාදාමයන් නිසාත් කියුබාවේ බලශක්ති ජාලය පසුගිය මාසය තුළ කිහිප වතාවක් අසාර්ථක වූ බව කියුබානු බලධාරින් මේ අතර ප්‍රකාශ කර සිටිති.
කෙසේ වෙතත් ඇමරිකානු සම්බාධක හේතුවෙන් එරට ලොව පිළිගත් අයිතිවාසිකම් ලෙස සැලකෙන අධ්‍යාපනය ලැබීමේ අයිතිය, ආහාර ලබා ගැනීමේ අයිතිය, ආර්ථික හා සමාජීය අයිතිවාසිකම්, ජිවත් වීමේ අයිතිය හා එරට සංවර්ධනය කිරීම බරපතල ලෙස උල්ලංඝණය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කල ඔක්තෝම්බර් 20 වැනිදා යෝජනාව මගින් පෙන්වා දේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියුබානු ජනාධිපති MIGUEL DIAZ-CANEL පවසා සිටියේ මෙවර කියුබාව ජය ගනු ලැබුවේ ගොලියත්ට එරෙහිව ඩේවිඩ් විසින් කරනු ලැබූ සටනට සමානව බවයි.
“ඇමරිකන් අධිරාජ්‍යය විසින් මෙම ජාත්‍යන්තර ඉල්ලීම ඉතාමත් අහංකාර ලෙස නොසලකා හැරියද අපගේ කියුබානු වීරෝධාර ජනතාවගේ ධෛර්යය හා නම්බුව විශ්වීය සහයෝගිතාවය විසින් යලිත් වරක් වැළඳ ගෙන තිබීම අප ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක්” යයි කියුබානු ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.










