ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ පාලන සමයේ ගත් තීරණය වළකාලන්නැයි ඉල්ලමින් එකළ ගොනු කළ පෙත්සම ලබන වසරේ ජනවාරි 23 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කර තිබේ.
මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.
පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වන සංරක්ෂණ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, වන ජීවි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරල් ඇතුළු පිරිසක් නම් කර ඇත.
ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට 2021 වසරේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ රජය තීරණය කර තිබූ බවත් එලෙස තීරණය කිරීමට පෙර නිසි පාරිසරික ඇගයීමක් නොකළ බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ ගෝටාබය රාජපක්ෂගේ රජය ගත් එම තීරණය ජාතික වන භූමි පනතේ විධි විධානයන්ට පටහැනි බවද පවසති.
එබැවින් අදාල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලලා සිටින පෙත්සම්කරුවෝ අදාළ මංමාවත් පුළුල් කිරීමේ කටයුතුවලදී වනාන්තරයට කළ විනාශයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියම කරන්නැයිද ඉල්ලා සිටිති.










