තරුණ, තරුණියන්ගේ අහිංසක හීන සිල්ලරට විකිණූ දේශපාලනය අවසන් යැයි ‘ජාතික ජන බලවේගයේ කාන්තාවෝ’ සංවිධානයේ දිස්ත්‍රික් සභික, ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා නීතිඥ හසාරා ගම්පළ ලියනගේ අවධාරණය කරයි.
ඇය මේ බව සඳහන් කළේ ඊයේ (27) බද්දේගමදී පැවති ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායමේ ජය තහවුරු කිරීමේ මහජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ‘ජාතික ජන බලවේගයේ කාන්තාවෝ’ සංවිධානයේ දිස්ත්‍රික් සභික, ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා නීතිඥ හසාරා ගම්පළ ලියනගේ,
“මෙපමණ කල් දේශපාලනය සමාජයේ එක්තරා පිරිසකට පමණක් සීමා වී තිබුණා. විශේෂයෙන්ම කාන්තාවන් විදියට දේශපාලනයට මැදිහත් වෙන්න ඉඩක් තිබුණේ නැහැ. හැමදාමත් කාන්තාවන් යොදා ගත්තේ ඡන්දය ගන්න විතරයි. ඒ වාගේම මේ රටේ තරුණ පරම්පරාවත් යොදා ගත්තා. තරුණ, තරුණියන් හැටියට අපට මහ ලොකු හීන තිබුණේ නැහැ. නමුත්, මෑතක් දක්වාම තරුණ, තරුණියන්ගේ අහිංසක හීන සිල්ලරට විකුණන්න දේශපාලකයන් සමත් වුණා. රට රැකියා හීනයක්, වාහනයක් ගැනීමේ හීනයක් වාගේ දේවල් වෙනුවෙන් යොදා ගත් තරුණ පරපුර දැන් සම්පූර්ණයෙන් ම වෙනස් වී ඉන්නවා. අපි වාගේ සාමාන්‍ය පවුල්වල පුරවැසියන්ටත් දේශපාලනයේ විශාල ඉඩක් නිර්මාණය කර දීම නිසා ජාතික ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට ශක්තිමත් අපේක්ෂක කණ්ඩායමක් තෝරාගෙන සිටිනවා. වත්මන් ජනාධිපති, අනුර කුමාර දිසානායක සහෝදරයා ප්රමුඛ මේ රජය වේගයෙන් ක්‍රියා කරමින් සිටිනවා. හරියටම කියනවා නම්, පිච් එකත් හොඳයි; නායකයාත් හොඳයි; ප්රේක්ෂකාගාරයත් හොඳයි. මේ ගේම් එක ප්ලේ කරන්න හොඳම කණ්ඩායම තෝරා ගන්නයි මහා මැතිවරණය පැවැත්වෙන්නේ. ඒ මැතිවරණය වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන්න ශක්තිමත්, සමබර කණ්ඩායමක් 12 දෙනකුගෙන් සමන්විතව විවිධ ක්ෂේත්රවලින් තෝරාගෙන ඉන්නවා. ඔවුන් පිටුපස විශාල කැප කිරීම් කළ ශක්තිමත් අත්දැකීම් ලබා ගත් තවත් බොහෝ පිරිසක් ඉන්නවා. තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් දේශපාලනය නොකළ ඒ පිරිස තවමත් පොදු හැඟීමෙන් කටයුතු කරමින් ඉන්නවා. පොදු ජනතාවගේ සිතුම්, පැතුම් සහ දේශපාලනයේ සිතුම්, පැතුම් එකට සමපාත කරමින්, ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව සැලැසී තිබෙනවා.”











