මේ ජනතාවාදී පාලනය තුළ ආබාධ සහිත අපව අත්නොහරින බව අපිට විශ්වාසයි – සුගත් වසන්ත ද සිල්වා

මේ ජනතාවාදී පාලනය තුළ ආබාධ සහිත අපව අත්නොහරින බව අපිට විශ්වාසයි – සුගත් වසන්ත ද සිල්වා

මේ ජනතාවාදී පාලනය තුළ ආබාධ සහිත තමන් වැනි අයව අත්නොහරින බව තමන්ට විශ්වාස යැයි විශ්‍රාමික දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂක, සුගත් වසන්ත ද සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (26) ගොඩකවෙලදී පැවති ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විශ්‍රාමික දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂක, සුගත් වසන්ත ද සිල්වා,

“ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ අනුර කුමාර දිසානායක සහෝදරයාට ආබාධිත පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළා. එය ක්‍රියාත්මක කිරීමේ තවත් පියවරක් ලෙස ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයකු ලෙස ආබාධිත පුද්ගලයන් නියෝජනය කරමින්, මාව ඉදිරිපත් කර තිබෙනවා. ලක්‍ෂ දහහතකට වැඩි ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කිරීමේ අවස්ථාව මේ මඟින් ලබාදී තිබෙනවා. ගෙවී ගිය අවුරුදු හැත්තෑහය තුළ විවිධ පක්‍ෂ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ආබාධිත පුරවැසියන් කෙරෙහි අවධානයක් යොමුකර තිබුණේ නැහැ. ඔවුන් වෙනුවෙනුත් ප්‍රතිපත්තියක් සකස් කිරීමයි ජාතික ජන බලවේගයේ හැඩය. රත්නපුර දිස්ත්‍රික්කයෙහි ජනතාව පෙළගැසී සිටින්නේ එවැනි පළල් අර්ථයක් සහිත වැඩපිළිවෙළක් පවතින ජාතික ජන බලවේගය වටා.

ජරාජීර්ණ දේශපාලනය අවසන් කර මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ අපේක්‍ෂා ඉටු කරන දේශපාලන ව්‍යාපාරයක් බලයට පත් කිරීමේ හැකියාව තිබෙන්නේ ඔබටයි. ඒ වෙනුවෙන් විශාල මහජන නියෝජිතයන් පිරිසක් පත්කර යැවීමේ වගකීම තිබෙන්නේ ඔබට. සියයට තුනට තිබුණු මහජන කැමැත්ත සියයට 43 දක්වා පසුගිය ජනාධිපතිවරණයේ දී ගෙන ආවා වාගේම ජනතාවාදී රජයක් පත්කර ගන්නා බව ස්ථිරයි. මේ දේශපාලන ව්‍යාපාරය කිසිම දාක ජනතාවට පිටුපාන්නේ නෑ. ජනතාවාදී පාලනයක් තුළ ආබාධ සහිත අපව අත්නොහැර ඉදිරියට ගමන් කරමින්, ලස්සන ජීවිතයක් උදා කරගත හැකි බව ස්ථිරයි. තමන්ගේ අයිතිවාසිකම් වාගේම සුබසාධනය බලගැන්වෙන ආයතනික රටාවක් ගොඩනැඟීම සිදු කරනවා. අප හැමදෙනාම එකට හිනාවෙන, එකට අත්පොළසන් දෙන වෙනස්කමකට භාජනය නොකරන පිරිසක් බවට ආබාධිත ජනතාවත් ඔසොවා තබන රටක් තමයි, පොහොසත් රටක් කියන්නේ. එවැනි ජනතාවක් තමයි, ලස්සන ජීවිත ගත කරන ශිෂ්ටසම්පන්න ජනතාවක් කියන්නේ.”

Facebook
Twitter
LinkedIn