වර්තමාන ත්‍රිපුද්ගල කැබිනට් මණ්ඩලය යටතේ ණය ලබා ගැනීම පිළිබඳව බිල්ලන් මැවීමට ඇතැම් පිරිස් උත්සාහ කරන අතර එම ණය ලබාගැනීමට සිදු වී තිබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරල ඇතුළු විද්වතුන් පෙන්වා දෙමින් සිටී.
ඒ අතර තවත් විශ්ලේෂකයින් පවතින ගැඹුරු අර්බුදය පිළිබඳව පුවත්පතවලට විවිධ ලිපි සම්පාදනය කර ඇත. මෙම වසර වෙනුවෙන් අපේක්ෂිත රජයේ ආදායම රුපියල් බිලියන 4,164ක් වන අතර සමස්ත වියදම රුපියල් බිලියන 6,919ක් වී ඇති අතර ණය වාරිකා ගෙවීමේ වියදම් මෙයට ඇතුළත් කර නොමැත. ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ආර්ථික වශයෙන් රට කඩා වැටෙනු ඇති බවට ජනාධිපතිවරණයට පෙර විශාල වශයෙන් ප්‍රචාරය කර තිබිණි. නමුත් රටක් වශයෙන් පවතින අභියෝගය කෙබඳුදැයි පසුගිය 25 වන සිකුරාදා ලංකාදීප පුවත්පතෙන් හෙළි කර තිබිණි.
එම සම්පූර්ණ ලිපිය උපුටාගෙන පහත දැක්වේ,
ජනාධිපති අනුර යටතේත් ණය සාගරයක ගිලෙයි ද?
ශ්‍රී කාවේ රජය ලබා ගන්නා ණය සම්බන්ධයෙන් සාකච්ඡව යළිත් වටයකින් ඉහළට ම පැමිණ තිබේ. රට හමුවේ තිබෙන සමස්ත ආර්ථික කඩාවැටීම ගැන සාකච්ඡාව වෙනුවට ණය ගැන පමණක් එය කේන්ද්‍රගතව පවතී. එක් අතකින් සලකා බලන විට එය පිළිගත හැකි කරුණක් ය. මන්ද හරියටම විග්රහ කර බැලූ විට පෙනී යන්නේ සමස්ත ආර්ථිකය කඩාවැටීමේ ප්‍රමුඛතම එක් හේතුවක් ලෙස දරාගත නොහැකි ණය කන්දක් තිබීමයි. ඒ නිසාම ණය පිළිබඳ සාකච්ඡව දත්ත සහ කරුණු සහිතව සිදු කිරීම කාලෝචිත වේ. මේ ලිපිය එම සංවාදය පෝෂණය කිරීම වෙනුවෙන් ය.
මූලිකවම බොහෝ දෙනකු විසින් අමතක කරනු ලබන දෙයක් තිබේ. මේ ගෙවී යන්නේ 2024 වර්ෂය බව ය. මෙම වර්ෂය වෙනුවෙන් අය-වැය ලේඛනය ඉදිරිපත් කළේ 2023 නොවැම්බර් මස 13 වැනිදා එවකට සිටි මුදල් ඇමැති, රනිල් වික්‍රමසිංහ ය. දෙසැම්බර් මස මැද දී පාර්ලිමේන්තුව එය සම්මත කළේ ය. මෙම සම්මත කිරීම අනුව මෙම වර්ෂයේ දී රජයේ ණය ගැනීමේ අවශ්‍යතාව ලෙස රුපියල් කෝටි හත්ලක්ෂතිස්පන්දහස (රු. කෝටි 7,35,000*ක් අනුමත කරනු ලැබ තිබේ. රජයේ අවශ්‍යතාවන්ට අනුව ණය ගැනීමේ දින වකවානු සහිත මූලික සැලැස්ම මහා භාණ්ඩාගාරය සකස් කරයි. ජනාධිපති, අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවා අය-වැය ලේඛනයක් ඉදිරිපත් කර සම්මත කරගෙන නැත. ඒ නිසා අදටත් කි‍්‍රයාත්මක කළ යුතුව තිබෙන්නේ 2023 දෙසැම්බර් මස පාර්ලිමේන්තුවෙන් සම්මත කර දෙන ලද අය-වැය ලේඛනයම ය; එම ණය ගැනීමේ සැලැසුම ම ය.
ඔරොත්තු නොදෙන ණය කන්දක්
ආර්ථිකයට ඔරොත්තු නොදෙන ණය කන්දක් ගැනීම කිසිවෙක් කිසිසේත්ම අනුමත නොකරනු ඇත. නව රජයක් පිහිටු වූ පසු ඔවුන්ගේ මූලිකම ඉලක්කය වනු ඇත්තේ ද රජයේ අනවශ්‍ය වියදම් සියල්ල කපාහැර වියදම් හැකි තාක් අඩු කිරීම ය. ඒ මඟින් ණය ගැනීම හැකි උපරිමයෙන් පහත දැමීම ය. බලයේ සිටින ආණ්ඩුවේ පක්ෂය, පාට කුමක් වුවත්, ණය ගැනීමේ දී ඉතාම ප්‍රවේශම් විය යුත්තේ, ණය වාරික ණය වාරික සහ පොළිය ගෙවීම පිළිබඳව ය. මෙම වසරේ දී රජයේ ණය සහ පොළිය ගෙවීමේ ඇස්තමේන්තුගත වියදම රුපියල් කෝටි හයලක්ෂඅනූඑක්දහස්නවසියය (රු. කෝටි 6,91,900*ක් ය. රටක් ලෙස මෙය කොතරම් බියජනක කටයුත්තක් දැයි පැහැදිලි වන්නේ රජයේ ඇස්තමේන්තුගත ආදායම සමඟ සැසැඳීමේ දී ය.
මෙම වසරට ඇස්තමේන්තු කර තිබෙන මුළු ආදායම රුපියල් කෝටි හාරලක්ෂදහසයදහස්හාරසියය (4,16,400*ක් ය. එසේ තිබිය දී, ණය වාරික සහ පොළිය ගෙවීමට පමණක් රුපියල් කෝටි හයලක්ෂඅනූඑක්දහස්නවසියය (රු. කෝටි 6,91,900*ක් වැය වේ. මුළු ආදායමෙන් සියයට 166ක් ඉක්මවා ණය වාරික සහ පොළිය ගෙවීමට සිදු වී තිබේ. තවත් පැහැදිලිව කියන්නේ නම්, රජයේ මුළු ආදායම සම්පූර්ණයෙන්ම ණය වාරික සහ පොළිය ගෙවීමට යොදවා තවත් රුපියල් කෝටි දෙලක්ෂ හැත්තෑ පන්දහස් පන්සියය (රු. 275,500)ක් ණය ලබාගෙන ණය වාරික සහ පොළිය ගෙවීමට සිදුවීමක් ය. මේ වනවිට විදේශ ණයවලින් ඇතැම් වාරික සහ පොළිය ගෙවීම අත්හිටුවා තිබෙන නිසා ප්රශ්නය අනාගතයට කල් දමාගෙන තිබේ. එය යම් කිසි විවේක කාලයක්ය. කෙසේ වෙතත්, ණය පොළිය ගෙවීමේ ඇස්තමේන්තුව රුපියල් කෝටි දෙලක්ෂ හැටපන්දහස් කසියය (රු. 265,100)ක් ය.
විගණකාධිපති හෙළි කිරීම්
ණය පොළී ගෙවීමට දැරිය යුතු වියදම කොතරම් මාරාන්තික උගුලක් වි තිබේද යන්න විගණකාධිපති වාර්තාවකින් හෙළි කර තිබේ. මුදල් අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට එක් කර තිබෙන විගණකාධිපති වාර්තාවෙන් එය හෙළි කර ඇත. එහි දැක්වෙන්නේ ”2006 වර්ෂයේ දී රුපියල් බිලියන 151ක් වූ පොළී ගෙවීම් 2023 වර්ෂය වනවිට එය රුපියල් බිලියන 2,455ක් දක්වා 1,526%කින් වැඩි වී තිබිණි. අය-වැය හිඟය මූල්‍යයනය කිරීම සඳහා ණය ලබා ගැනීමට සිදු වී තිබූ අතර, ඒ සඳහා වන පොළී ගෙවීම වාර්ෂිකව වැඩි වී තිබිණි. 2023 වර්ෂයේ දී අය-වැය කාර්යසාධනය හා හිඟය මූල්‍යයනය කිරීමේ ප්‍රකාශය අනුව රැස් කරන ලද රුපියල් බිලියන 3,079ක රජයේ ආදායමෙන් රුපියල් බිලියන 2,455ක් හෙවත් 79.73%ක් පොළී ගෙවීමට සිදු වී තිබිණි. මෙම තත්වය අදාළ කාලපරිච්ඡේදයේ දී වාර්ෂිකව වර්ධනය වෙමින් පැවැති අතර, 2019 වර්ෂයේ සිට එය ශීඝ්‍ර ලෙස වර්ධනය වී තිබිණි” යනුවෙනි.
ණය පොළිය ගෙවීමට පමණක් රුපියල් කෝටි 2,65,100ක් වැය වන අතර, ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන් හට වැටුප් හා වේතන ගෙවීම වෙනුවෙන් වැය වන්නේ රුපියල් කෝටි එක්ලක්ෂ දොළොස්දහස් හත්සියය (රු. කෝටි 1,12,700)ක් ය. මේ අතර, ණය පොළිය ගෙවීමට වැය වන වියදම සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවේ වැඩි දුරටත් තොරතුරු හෙළි කර ඇත්තේ මෙසේ ය : ”ඉකුත් වර්ෂයේ පොළී ගෙවීම් රුපියල් බිලියන 1,565ක් හෙවත් මුළු පුනරාවර්තන වියදමෙන් 44.22%ක් වී තිබිණි. පොළී ගෙවීම් ඉකුත් වර්ෂය සමඟ සැසැඳීමේ දී රුපියල් බිලියන 890කින් වැඩි වී තිබිණි තවද, මුදල්, ආර්ථික සහ ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මඟින් 2022 අප්‍රේල් මස 12 වැනි දින නිකුත් කරන ලද අන්තර්කාලීනව විදේශ ණය ගෙවීම් අත්හිටුවීමේ ප්‍රතිපත්තිමය තීරණය අනුව 2022 අප්‍රේල් මස 13 වැනි දින සිට සමාලෝචිත වර්ෂයේ අවසන් දින වන විට ඇතැම් ණය වාරික සහ පොළී ගෙවීම් අත්හිටුවා තිබුණු නමුත්, ඊට අදාළව වූ ගෙවීම් සිදු කළේ නම්, එම ඌනතාව තව දුරටත් වර්ධනය වන බව නිරීක්ෂණය විය.”
ඔරොත්තු නොදෙන කම්පනයක්
ඉහත උපුටා ගැනීමේ ‘ඉකුත් වර්ෂය’ යනුවෙන් දැක්වෙන්නේ 2022 වර්ෂයයි. 2022 වර්ෂයේ දී රුපියල් බිලියන 1,565ක් වූ පොළී ගෙවීම වර්ෂයක් තුළ 2023 අවසන් වනවිට රුපියල් බිලියන 2,455ක් දක්වා ඉහළ යාමක් ය. වර්ෂය තුළ පොළී ගෙවීම සඳහා වූ වියදම රුපියල් බිලියන 890කින් හෙවත් 2022ට වඩා 44.22%ක ඉහළ යාමක් ය. 2024 වර්ෂය සඳහා තව දුරටත් ඉහළ යමින් රුපියල් බිලියන 2,651ක් වී තිබේ. මේ ඇස්තමේන්තුව ඉක්මවා යාමේ අනතුරක් ද නැත්තේ නොවේ. කෙසේ වෙතත්, වර්ෂයක් තුළ පොළී ගෙවීමේ වියදම පමණක් 44.22%කින් ඉහළ යාම ආර්ථිකයට කිසිසේත් ම ඔරොත්තු නොදෙන තරමේ කම්පනයක් ය.
මේ ආකාරයේ කම්පනයන්ට ලක් වී ඇත්තේ, විදේශීය වශයෙන් ස්වෛරීත්ව බැඳුම්කර ණය ලබා ගැනීම නිසා ය. විදේශීය සහ දේශීය වශයෙන් ලබාගෙන තිබෙන මෙම ණය ‘වාණිජ ණය’ ලෙස හැඳින්වේ. සරල, කාටත් පැහැදිලි වන ආකාරයට කියන්නේ නම්, ගිනිපොළී ණය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් ණය ලබා ගැනීමේ දි නියම වන්නේ සහනදායී පොළී අනුපාත ය. විදේශ රටවලින් ද්විපාර්ශ්වික ණය ලබා ගැනීමේ දී ද එසේම ය. දළ වශයෙන් සියයට 3-5 අතර පොළී අනුපාතිකයක් ය.
එහෙත්, විදේශ වාණිජ ණය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් 2007දී ලබා ගැනීම ආරම්භ කරන්නේම 7% ඉක්ම වූ පොළියක් යටතේ ය. විදේශ ණය ගෙවීම් අත්හිටුවීමත් සමඟ එම ණය පොළී අනුපාතික සත්‍ය වශයෙන් ම කොපමණ වී ඇති දැයි හෙළි වන්නේ නැත. ‘බ්ලූම්බර්ග්ස්’ වැනි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාව පහත හෙළීමත් සමඟ පොළී අනුපාතික වේගයෙන් ඉහළ ගියේ ය. මේ පිළිබඳව ආසන්න අදහසක් දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් ම ලබාගත හැකි ය. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මඟින් දේශීය ණය ලබා ගැනීමේ දී පොළී අනුපාත 30%ට ආසන්න වී තිබිණි. මේ වනවිට ද පවතින්නේ 12%ක ආසන්න අනුපාතිකයක් තුළ ය. මෙම වසරේ දී රජය ඇස්තමේන්තු කර තිබෙන රුපියල් බිලියන 4,164ක ආදායම ඒ ආකාරයෙන් ම ලබාගත හැකි වේ යැයි උපකල්පනය කළහොත්, පොළිය ගෙවීමට පමණක් රුපියල් බිලියන 2,651ක් වැය වේ. එය අතිවිශාල බරක් ය. ඇස්තමේන්තු කළ ආදායම ම ලබා ගත්ත ද, එයින් සියයට 64කට ආසන්න මුදලක් පොළී ගෙවීමට වැය වේ.
විගණකාධිපතිවරයා ”මෙම තත්වය අදාළ කාලපරිච්ඡේදයේ දී වර්ධනය වෙමින් පැවැති අතර, 2019 වර්ෂයේ සිට ශීඝ්‍ර ලෙස වර්ධනය වී තිබිණි” යනුවෙන් සඳහන් කරන්නේ මෙම පසුබිම තුළ ය. නව රජය පිහිටුවා ගැනීමත් සමඟ පවතින මූලික ම ආර්ථික අභියෝගය වී තිබෙන්නේ මෙන්න මේ අතිවිශාල පොළී කන්දක් පැවැතීමයි. විශේෂයෙන් ම විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී පොළිය කිසියම් ප්‍රමාණයකින් කපාහැරගත යුත්තේ, පවතින තත්ත්වය එතරම් ම කම්පනකාරී නිසා ය. රජයේ එදිනෙදා අත්‍යවශ්‍ය සියලූ වියදම් ඇතුළත් මුළු පුනරාවර්තන වියදම්වලින් සියයට 52කට ආසන්න ප්‍රමාණයක් ණය පොළී ගෙවීම සඳහා පමණක් වර්ෂයක දී වැය වන ආර්ථිකයක් වර්තමානයට උරුම වී පවතී. එම තත්ත්වය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම අමතක කර ලාභ දේශපාලන අරමුණු වෙනුවෙන් මතදැක්වීම රටකට හිතකර තත්ත්වයක් නම් නොවේ.
අකිල රත්නායක










