ජනාධිපති සහෝදරයෙක් ආදරණීය අග්‍රාමාත්‍යවරියක් ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් එක්ක රටට ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කරගමු – මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

ජනාධිපති සහෝදරයෙක් ආදරණීය අග්‍රාමාත්‍යවරියක් ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් එක්ක රටට ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කරගමු – මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

ජනාධිපති සහෝදරයෙක්” ආදරණීය අග්‍රාමාත්‍යවරියක්” ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් එක්ක රටට ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කරගමු යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂක, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (26) ගොඩකවෙලදී පැවති ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂක, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි,

“රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන්න ජාතික ජන බලවේගයෙන් විශිෂ්ට අපේක්‍ෂකයන් 14 දෙනෙක් ඉදිරිපත් කර සිටිනවා. මේ ඉන්න අපේක්‍ෂකයන්ට නඩු නැහැ. ඇප පිට ඉන්න අය නෙවෙයි. දූෂණ චෝදනා නැහැ. ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ආදරණීය ඔබට මේ 14දෙනා අතුරින් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමේ කිසිදු දෙගිඩියාවක් තියෙන්න හේතුවක් නැහැ.

හැත්තෑහය වසරක් රට පාලනය කළ පාලකයෝ අපේ ජීවිතවල ගැටලු සම්පූර්ණයෙන්ම ඉතිරි කර තිබෙනවා. පොහොට්ටුවෙන් යවපු 134 දෙනකුගේ ඡන්දයෙන් මහ බැංකුව කොල්ලකෑමට වගකිව යුතු රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළා. ජනතාවට පීඩනය ගෙනැවිත්, අසරණ කළ මේ ක්‍රමය වෙනස් කිරීමටයි, අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙන්නේ. මේ ආසන්නයේ පවතින ඉස්ලාම් පල්ලියකට ගිය අවස්ථාවේ ඔවුන් කළ එකම ඉල්ලීම සුසාන භූමියක් ලබා දෙන ලෙසයි. හැත්තෑහය වසරක් රට පාලනය කළ අය මේ රටේ ජනතාවට ගෞරවනීය ජීවිතයක් ලබා නොදුන්නා සේම ගෞරවනීය අවසන් ගමනක් අත්කර දී නැහැ. ඒ නිසා දූෂිත, දුෂ්ට පාලනය අවසන් කළ යුතුයි. මෙයට මොහොතකට පෙර මේ රටේ ආබාධිත ජනතාව නියෝජනය කරමින් කතා කළ සුගත් සහෝදරයා වෙනුවෙන් අපේ පාර්ලිමේන්තුවේ අසුනක් වෙන් වේවි. ඉන් පසුව මුළු ලෝකයම අපේ පාර්ලිමේන්තුව ගැන කතා කරාවි. ජාතික ජන බලවේගය මුළු රටටම ජයක් දෙනවා මෙන්ම සුගත් සහෝදරයා දෘශ්‍යාබාධිත පමණක් නොවෙයි, සියලුම ආබාධිත ජනතාවට ආලෝකය ලබා දේවි. ජාතික ජන බලවේගය නිර්මාණය කළ ජනාධිපති සහෝදරයෙක් සමඟ මහා මැතිවරණයේ අපේක්‍ෂකයන් 14 දෙනකු මේ වේදිකාවේ සිටිනවා. මගේ වැඩිහිටි පරම්පරාව ජීවිත පරිත්‍යාගයෙන් දැකපු හීනයක් වාගේම මගේ පරම්පරාවත් දැකපු හීනයක් සැබෑ වීමක් ඒක. විශාල වගකීම් සම්භාරයක් අප හැම දෙනාටම පැවරී තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන අටම නියෝජනය කරමින්, මේ අපේක්‍ෂකයන් අතුරින් බහුතරයක් තෝරා පාර්ලිමේන්තුවට යවන්න. අපේ ජනාධිපතිවරයෙක් ආදරණීය අග්‍රාමාත්‍යවරියක් ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් එක්ක ඓතිහාසික ජයග්‍රහණ ලැබීමට සියලු දෙනාම ඒකරාශී වන ලෙස ආරාධනා කරනවා.”

Facebook
Twitter
LinkedIn