අපේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සැප්තැම්බර් 21 වැනිදා ගත් ධෛර්යවන්ත තීන්දුව දිගුකාලීන, ස්ථාවර ජයග්‍රහණ කරා යොමු කරමු යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී, නදී කම්මැල්ලවීර අවධාරණය කරයි.
ඇය ඊයේ (26) ගොඩකවෙලදී පැවති ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවීණ රංගන ශිල්පිනී, නදී කම්මැල්ලවීර,
“අපේ සුන්දරලිංගම් සහෝදරයා භාෂා දෙකෙන්ම කතා කළා. නමුත්, මට දෙමළ භාෂාවෙන් වචන කිහිපයක්වත් කතා කරන්න බැරිවීම ගැන අවංකවම ලැජ්ජා වෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ වඩාත් හොඳින් අපි එකිනෙකා අවබෝධ කරගත හැකි වන පරිදි භාෂා දැනුම වර්ධනය කර ගැනීමට ක්‍රියා කරනවා. ඉතිහාසයේ ප්‍රශස්තම ජනතා තීන්දුව පසුගිය 21 වැනිදා ගනිමින්, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා අපේ රටේ ජනාධිපති ලෙස පත්කර ගත්තා. ඒ තීන්දුව නිවැරැදි බව දිනෙන් දිනම දැන් තහවුරු වෙමින් තිබෙනවා. පරම්පරා කිහිපයක් අප මත පටවා තිබුණු අසීමිත බරෙන් නිදහස්වීමේ හැඟීමක් මට මෙන්ම ඔබ සියලු දෙනාටත් දැනෙනවා ඇති. ප්රබෝධයක්, බලාපොරොත්තුසහගත බවක් වාගේම අපේක්ෂා සහිතව දල්වා ගත් දෑස් හැම දෙනාටම තිබෙනවා.
නීතිය සියලු දෙනාට එක ලෙස ක්‍රියාත්මක වන රටක පුරවැසියන් වීමේ අභිමානය දැනෙන්න පටන්ගෙන තිබෙනවා. ඒ සුවය මහා අසිරියක්. ඇරැඹූ මේ ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් ව්‍යවස්ථාදායකයේ බලයක් ජාතික ජන බලවේගයට ලබාදෙන්න. උසාවිවලින් මිනීමරුවෝ බවට තීන්දු කළ අය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ, හොරු ඇතුළු අපරාධකරුවන් පාර්ලිමේන්තුවේ සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ මහජනතාවගේ මුදලින් සියලු වරප්‍රසාද ලබා ගනිමින්, මහජනතාව නොතකා සිටින පිරිසක් වාගේම පිල් පනින පිරිසක් බවට පත්වී සිටියා. ඒ අප්‍රසන්න තත්වය වෙනස් කිරීමේ අවස්ථාව දැන් ලැබී තිබෙනවා. මන්ත්‍රීවරයා සහ මහජනතාව අතර සම්බන්ධතාව පැහැදිලි කර දෙන සැබෑ පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමේ ශක්තිමත් බහුතර ජයක් ලබාගැනීම අත්‍යවශ්‍යයි. අපේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සැප්තැම්බර් 21වැනිදා ගත් ධෛර්යවන්ත තීන්දුව දිගුකාලීන, ස්ථාවර ජයග්‍රහණ කරා යොමු කරවමු. ආර්ථික වශයෙන් පමණක් නොවෙයි, ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් රටක් බවට පත් කරන්න සියලු දෙනාම පෙළගැසෙමු. ලස්සන ජීවිතයක් ගොඩනඟා දෙන්න අවශ්‍ය ශක්තිය, බලය ජාතික ජන බලවේගයට ලබා දෙමු. ශ්‍රී ලාංකික ජනතාවට ජයවේවා!”














