ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබේ.
පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත හෘදයාංගම සුබපැතුම් පළ කර ඇති තානාපති ඉරාන ජනාධිපති මසුද් පෙසෙෂ්කියාන් (Masoud Pezeshkian)ගේ විශේෂ සුබපැතුම් පණිවිඩයද ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වා ඇත.
මැදපෙරදිග වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇති අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක පියවර පිළිබඳව ජනාධිපති විසින් ඉරාන තානාපති දැනුවත් කර තිබේ.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සහ මෙරට ජනතාවගේද ආරක්ෂාව තවදුරටත් සහතික කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත්, රට තුළ සුරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව කැප වී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවත්නා දීර්ඝකාලීන ද්වීපාර්ශ්වීය සබඳතා පිළිබඳවද මෙහිදී සිහිපත් කර ඇති අතර නව ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ඉරාන – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීම තම අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඒ පිළිබඳව සුබවාදී ලෙස අදහස් දැක්වා ඇති ඉරාන තානාපති වෙළඳාම, තාක්ෂණය, සංස්කෘතිය සහ අධ්‍යාපනය යන ක්ෂේත්රවල නව වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවටද සහතික වී ඇත.












