අලි – මිනිස් ගැටුමට AI විසඳුමක්… චීන තාක්ෂණය මෙරටට ගෙන ඒමට සාකච්ඡා…

අලි – මිනිස් ගැටුමට AI විසඳුමක්… චීන තාක්ෂණය මෙරටට ගෙන ඒමට සාකච්ඡා…

මෙරට දැඩි කතාබහට ලක්ව ඇති ගැටළුවක් වන අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින්, වන අලි ගම්මානවලට ඇතුළු වීමට පෙර හඳුනාගෙන ජනතාවට කඩිනමින් අනතුරු ඇඟවීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ නවීන තාක්ෂණික පද්ධතියක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

චීනයේ සාර්ථකව ක්‍රියාත්මක වන මෙවැනි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් මෙරටට ගෙන ඒමේ හැකියාව පිළිබඳව පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල, ශ්‍රී ලංකාවේ චීන තානාපති, ගල්ගමුව සහ ගිරිබාව ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මෙන්ම Huawei සමාගමේ නියෝජිතයින් අතර මූලික සාකච්ඡාවක් ඊයේ (13) ගල්ගමුව ප්‍රදේශයේදී පවත්වා ඇත.

එහිදී අදාළ තාක්ෂණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව ක්ෂේත්‍ර නිරීක්ෂණයකද නිරත වී තිබේ. මෙම නවීන තාක්ෂණික පද්ධතිය මඟින් වන අලි ජනාවාස වෙත පැමිණීමට මත්තෙන් හඳුනාගැනීමටත්, අනතුරු ඇඟවීමේ සංඥා හා පණිවුඩ ඔස්සේ ප්‍රදේශවාසීන් වහාම දැනුවත් කිරීමටත් හැකියාව පවතී.

අලි-මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුම් සෙවීමේදී නව තාක්ෂණය උපරිමයෙන් භාවිත කරන බව පෙන්වා දෙන පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳි, මිනිස් ජීවිත මෙන්ම වන අලින්ගේ ජීවිතද සුරක්ෂිත කරමින් දෙපාර්ශ්වයටම සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ මූලික අරමුණ බව අවධාරණය කර තිබේ.

ලෝකයේ සාර්ථක අත්දැකීම් සහ නවීන තාක්ෂණික ක්‍රමවේද ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Facebook
Twitter
LinkedIn