පුත්තලම් දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ දැවැන්ත සැලැස්මක් සකස් කර අවසන් – මහාචාර්ය චන්දන අබේරත්න

පුත්තලම් දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ දැවැන්ත සැලැස්මක් සකස් කර අවසන් – මහාචාර්ය චන්දන අබේරත්න

සුළං බලය යොදා ගනිමින්, විශාල වශයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට යොදා ගැනීමේ සැලැසුම් ඇතුළු දැවැන්ත සංවර්ධන සැලැස්මක් සකස් කර අවසන් යැයි ජාතික ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක මහාචාර්ය චන්දන අබේරත්න අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ලබන 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගෙ ජය තහවුරුකිරීමින් ඊයේ (24) හලාවත වෙරළ උද්‍යානයේ පැවති ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක මහාචාර්ය චන්දන අබේරත්න,

“මුළු රටම වැඩබිමක් බවට පත් කරමින්, ආර්ථිකය ගොඩ ගැනීමේ ක්‍රියාවලියට පණපොවන අතර, පුත්තලම් දිස්ත්‍රික්කය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය ගොඩනැඟීමේ සැලැසුම් සකස් කර තිබෙනවා. ඒ වාගේම මේ හමාගෙන එන සුළං බලය යොදා ගනිමින්, විශාල වශයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට යොදා ගැනීමේ සැලැසුම් ඇතුළු දැවැන්ත සංවර්ධන සැලැස්මක් සකස් කර අවසන්. එමෙන්ම පුත්තලම් කළපුව, විල්පත්තුව අභයභූමිය, වෙරළ තීරය යොදා ගනිමින්, සංචාරක කර්මාන්තය විශාල වශයෙන් සංවර්ධනය කිරීමට අපි සැලැසුම් සකස් කර තිබෙනවා.

ඒ වාගේම අපේ දරුවන්ගේ අධ්‍යාපනය මේ වන විට පවතින විශාල අඩුපාඩුකම් මඟහරවා ගනිමින්, ඉදිරියට යාමේ වැඩපිළිවෙළක් දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබෙනවා. ඒ වාගේම ක්‍රීඩා අංශයෙන් ජාතික මට්ටමේ පමණක් නොවෙයි, අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ දක්වා ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මෙම කටයුතු වෙනුවෙන් එළැඹෙන මහා මැතිවරණයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට මුස්ලිම් සහෝදරත්වය විශේෂයෙන්ම ජාතික ජන බලවේගය වටා එක්වී සිටිනවා. මහා මැතිවරණයට ඉදිරිපත්වී සිටින අප කිසිවෙක් පෞද්ගලික අරමුණු වෙනුවෙන් ඉදිරිපත් වී නැහැ. පොදුවේ රටත්, ජනතාවත් ජයග්‍රහණය කරවීමට සියලුම දෙනා කැපවී කටයුතු කරනවා.”

Facebook
Twitter
LinkedIn